ගුරුතුමීගේ ද්විත්ව චෙස් ඇදීම…..
ඔන්න සමනලී වැඩි වැඩක් නැතිව ඉන්න ගමන් සිංහලෙන් ගෙත්තම් කෙරෙන බ්ලොග් සටහන් කියවද්දී වැප්ගේ 25න් උඩට එන්න තිබුනු සිහිනය ගැන කියවද්දී සමනලීටත් සමනලීගේ සාමාන්‍ය පෙළ පන්තිය මතක් උනානේ……
8 වසරේ විභාගේ ලියලා හොදට ලකුණු එහෙම අරන් රසබර නිවාඩුවක් හෙම බුක්ති විඳලා ජනේරුවේ සමනලීත් ගියා ඉස්කෝලේ…. දැන් ඉතින් අලුත් පන්තියකටනේ යන්නේ…. එතකොට ඉතින් එක පන්තියක හිටිය යාළුවෝ එහෙම බෙදිලා වෙන් වෙනවා… ඒකට නම් සමනලී හැමදාම දුක් උනා 😦
ඔන්න දැන් පන්ති අටේම ළමයි රැස් කරවලා 9 වසරේ එක එක පන්ති භාර ගුරුතුමියන් ඇවිත් ඒ ඒ පන්තියේ ළමයින්ගේ නම් කියනවා. පන්ති සේරම කියවිලා කියවිලා ඔන්න සමනලී සහ තවත් කට්ටියක් තාමත් නම ඇහුනේ නැතිව බලා ඉන්නවා….
“ඉතිරි ළමයි සේරම එන්න… ඔයාලා සේරම 9-එච් පන්තියේ… මමයි ඔයාලගේ පන්ති භාර ගුරුතුමී”
කලු උනාට හරීම සීදේවි පෙනුමක් තියෙන ජැන්ඩි පහට ඔසරියක් එහෙම ඇදපු වයසක මිස් කෙනෙක් සමනලීටයි යාලුවන්ටයි කතා කරලා එක්කරන් ගියා. යාන්තම් 8 පන්තියේ උන්න සමනලීගේ යාලුවෝ දෙතුන් දෙනෙක් සමනලීගේ අලුත් පන්තියටත් වැටිලා නෙව….
අලුත් පන්තිය ඇතුලට ගියාම හැමෝගෙම මූණූ වල හොද හිනාවක් ඇදුනා… ෂා ෂෝක් පන්තිය… !!
ඔයාලට මතක ඇතිනේ ඉස්කෝලේ පන්තියේ වාඩි වෙන්නේ පේළි වලටනේ? හැමෝටම සමානාත්මතාවය ලැබෙන්න කියලා දවසින් දවස ඔය පේළි මාරු වෙලා තමයි වාඩි වෙන්න ඕනා (ටීචර්ගේ කට අස්සේම ඉන්න අකමැති හෝම් වර්ක් නොකරපු අය නම් සතියකට සැරයක් කැරකිලා එන ඔය ඉස්සරහම වාඩි වීමේ සමානාත්මතාවයට ආසාම නෑ )
ඒත් මේ අලුත් පන්තිය හරිම ෂෝයිනේ…. මේ පන්තියේ පේළි නෑ…. චූටි කාලේ මොන්ටිසෝරියේ රවුමට රවුමට වාඩි වෙලා හිටියා වාගේ මෙන්න බොලේ අලුත් පන්තියේ පේළි වෙනුවට ඩෙස් පුටු ටික කණ්ඩායම් කරලා හදලා…..
(සමනලී 9 පන්තියේ ඉන්න කාලේ තමයි පාසල් වල ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය කියලා අලුත් වැඩක් පටන් ගත්තේ. ඒකට තමයි ඔය කණ්ඩායම් ක්‍රමයට ඉගෙන ගන්න සැලැස්සුවෙත්…. ඒ කේන්ද්‍රයට අහු උන අයට මතක ඇතිනේ මාසික ඇගැයීම් කරලා පන්තියේ බිත්තියේ පුවරු වල තමුන්ගේ නමට ඉස්සරහින් රතු පාට කොල පාට තිත් තියාගන්න වෙච්ච මහන්සිය…?)
ආයේ ඉතින් කවර කතාද? සමනලීත් දනිපනි ගාලා ගිහින් යාලුවෝ එක්ක එයින් එකක වාඩි උනා…. දැන් ඉතින් යාලුවෝ එක්ක කතා කරන්න පිටිපස්සේ පේළියට බෙල්ල කරකවන්න ඕනා නෑ, ඇයි යාලුවෝ ටික එක කණ්ඩායමක මූණට මූණ බලාගෙනනේ ඉන්නේ… commercial break නැති non stop කතා කිරීම සම්බන්ධයෙන් සමනලීට තියෙන්නේ හොඳ හැකියාවක්….. ඒ ගැන සමනලීගේ කියවිල්ල සහ නැන්දා ලිපිය කියවාපු අය නම් දන්නවානේ නේද? 😀
දැන් ඉතින් ඉබ්බා දියට දැම්මා වගේ තමයි……..
ඔන්න අර ජැන්ඩි පහට ඇදපු සීදේවි මිස් පොත් මිටියක් අරන් ඇවිත් වාඩි උනා.
“ආයුබෝවන්…..මම තමයි ඔයාලගේ පන්ති භාර මිස්. ඒ වාගේම සිංහල විෂය උගන්වන්නෙත් මමයි”
අපොයි උදේම පීරියඩ් දෙකක් සිංහල??
මුලින්ම නාම ලේඛනේ එහෙම හදලා මිස් ගත්තා සිංහල පාඩම් පොත අතට.
“ඔය ළමයා නැගිටින්න, කියවන්න පළමු පාඩම…”
ඔන්න ඉතින් ඒ ළමයා හැටට හැටේ පාඩම කියවනවා. එතකොට අනික් ළමයි? එයාලා ඉතින් පටන් ගත්තා සුපුරුදු කසුකුසුව….. දන්නවනේ ඉතින් ගුරුතුමී හිටියොත් කසුකුසුව, නැති වෙලාවට පොල වගේනේ පන්තියක සද්දේ….
“කවුද ඔය කතා කරන්නේ? නිශ්ශබ්දව පාඩම අහගන්න”
ගුරුතුමී පළමු අනතුරු ඇඟවීම දුන්නා… ඒත් කසුකුසුව වැඩි උනා මිසක් අඩු උනේ නෑ…. ඒ පාර නම් පළමු ප්‍රහාරය එල්ල උනා…
“ඔය ළමයා.. ඔවු ඔයා තමයි නැගිටින්න! මොනාද පාඩම අහන්නේ නැතිව කතා කරන්නේ? ගන්න පොත් ටික… ම්…. අතෙන්ට යන්න…. එතැන ඉන්න ළමයා එන්න මෙයා හිටිය තැනට…”
ඔන්න මිස් නමෝවිත්තියෙන් ද්විත්ව ඉත්තන් ඇදීම ආරම්භ කළා…. අනේ අර ළමයි දෙන්නා අනපේක්ෂිත ප්‍රහාරයෙන් වික්ෂිප්ත වෙලා බඩුමුට්ටුත් උස්සන් උතුරේ සරණාගත කඳවුරු මාරු කරන සරණාගතයො දෙන්නෙක් වාගේ උන් හිටි තැන් මාරු කළා….
ආයේ පාඩම කියවීම…. ඒත් වැඩි වෙලා යන්න කලින් ආයෙත් කසුකුසු….
“ඔය ඔය ඒ පාර මේ දෙන්නා කතාව… නැගිටින්න ඔය ළමයා…. යන්න අතෙන්ට… ඒ ළමයා එන්න මෙතෙන්ට…”
හරිම ෂෝක් වැඩේ නෙව… ළමයි කතා කරනවා… මිස් චෙස් අදිනවා වාගේ කතාකරන ළමයි එහෙට මෙහෙට මාරු කරකර ඉන්දනවා…. හැබැයි මේක සාමාන්‍ය චෙස් ක්‍රීඩාවට වඩා වෙනස්… live ඉත්තෝ…. අදින්නේ ද්විත්ව ක්‍රමයට…. ළමයි කතා කරන්න කරන්න වැඩේ ත්වරණයෙන් යුතුව සිද්ධ වෙනවා…
මුල් වට කිහිපය නම් සාර්ථකව ක්‍රීඩා කළා කියමුකෝ.. හොඳම හරිය ආවේ ඊට පස්සේ. සාර්ථක අහඹු ඉත්තන් ඇදීම් කිහිපයකට පස්සේ මුල්ව වටවලදී කසුකුසු ගාපු යාලුවෝ දෙන්න තුන්දෙනා ආයෙමත් එක ලඟටම වැටිලා….!! ළමයින්ට කට කොනකින් හිනාත් යනවා දැන්
“ඇයි ඔය ළමයා හිනා වෙන්නේ? ඇයි…? මේ දෙන්න ඉස්සෙල්ලා එක ලඟ හිටියද?”
“න්….නෑ නෑ මිස් එක ලඟ හිටියේ නෑ….”
“ඒකනේ මම හරියටම බලලා දැම්මේ… ඔන්න ආයේ මාරු වෙන්න බෑ…”
ඉතින් ඔන්න ඔය විදියට හැමදාම උදෙන්ම සිංහල පීරියඩ් එකේදී අපේ සීදේවි මිස් චෙස් අදිනවා….. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනේට පින් සිද්ධ වෙන්න අපිත් කණ්ඩායම් ක්‍රමයට ඕන පාඩමක් අස්සේ අපේ කතාබහ, විහිළු තහලු කරගෙන යනවා…
වැඩේ කියන්නේ මිස්ට කවදාවත් තේරුණේ නෑ එයාගේ චෙස් ඇදිල්ලෙන් වැඩියෙන්ම වාසි උනේ වැඩියෙන්ම කතා කරන යාලුවන්ට කියලා…. හැමදාමත් උදේට වෙන්වීමකින් පාඩම ආරම්භ කරලා ප්‍රබල ඉත්තන් හුවමාරුවකට පස්සේ නැවත හමුවීමකින් පීරියඩ් එක කෙළවර උනා…
ඒ පන්තියේ සිද්ධ වෙච්ච තවත් රස කතා තියෙනවා… නිවාඩුවක් ඉස්පාසුවක් ලැබුනාම සමනලී ඒවත් බෙදාහදා ගන්නම් ඔයාලා එක්ක…… ඉතින් එතකල් සමනලී ගිහින් එන්නම්….. මේ වාගේ අමුතු චෙස් ඇදීමක් ගැන අත්දැකීම් තියේ නම් ඔය පහල තියෙන හිස්තැන පොඩ්ඩක් පුරවලාම යන්නකෝ හොඳේ……
හැමෝටම සුභ දවසක්….!
හී හී.. නියමයි සමනළී. පොඩිකාලේ කියලා වෙනසක් තිබිලා නෑ වගේ නේ ?
අපිටනං ඉතිං ඔය ද්විත්ව චෙස් ඇදිලි හම්බුනේ නෑ. ඇද්දොත් ඇද්දම තමා. පන්තියේ පීරියඩ් එක ඉවර වුනාම තමා ආයෙ ඇතුළට යන්නේ. 🙂
පුංචිකාලේ අත්දැකීම් කොයිතරම් මතක් වෙනවද මේ වගේ දේවල් දැක්කාම. තවත් ලියන්න .. අපිට ආයිත් කවදාවත් යන්න බැරි ඒ සුන්දර ලෝකෙට පොඩ්ඩකට හරි හිතින් හරි ගිහිං එන්න පුළුවන් වේවි එතකොට..
-ජය
ස්තූතියි යෝගී……!
ආ….. සමනලීත් යාලුවෝ එක්ක පන්තියෙන් එලියේ පේළියට හිටගෙන ඉඳලා තියෙනවා වතාවක් දෙකක්…..! ඇත්ත දැන් ඒ දේවල් මතක් වෙද්දි ආයේත් ඒ ලස්සන කාලයට පියාඹන්න ඇත්නම් කියලා සමනලීට හිතෙන වාර අනන්තයි…..
සමනලි කට රිදෙන්නෙ නැද්ද අනේ ඔයාගෙ.. ඔහොම කියවන්න ගිහිල්ලා?
ඇත්තටම පාසල් කාලෙනං හරිම සුන්දරයි. ආයෙත් යන්න ආසයි. ඒ සුන්දර අතීතෙ මතක් වෙනකොට තාමත් ලොකු සතුටකුයි දුකකුයි එනවා….සමනලීගෙ සටහන කියවගෙන යද්දී මටත් මගේ පාසල් කාලය මතක් වුනා….
හී හී “කට රිදෙන්නෙ නැද්ද අනේ ඔයාගෙ.. ඔහොම කියවන්න ගිහිල්ලා?” ඔන්න ඕක තමයි හැමෝටම එන ප්‍රශ්නේ…… හැබැයි සමනලී ලඟ ඉදලා ඉදලා එක පාරට ලඟ නැති උනාම “අනේ හරිම පාළුයි ඔයා නැතිව” කියලා ඒ අයම කියනවා…. 🙂
සමනලී ලඟ ඉන්නවා නම් ඕනා කෙනෙක්ව ටිකක් හිනස්සලා කතා කරවලා ගන්න සමනලී දන්නවා…….
අනේ ඒත් ඇයි ඔයාට පාසල් කාලේ මතක් වෙලා දුක හිතුනේ….?
ස්තූතියි Chandika@EkiCkS….!
මේකයි සමනලී. ජීවිතේ ගොඩක් දේවල් ලංකරපු ඒවගේම ගොඩක් දේවල් අහිමි කරපු පාසල් ජිවිතේ…..සුන්දර අසුනුදර සිදුවීම් ගොඩක් මැදින් ගලාගෙන ගියේ… ලබාගත්ත දේවල් ගැන සතුටක් වගේම පාසලෙන් ලබා ගන්න බැරිවුන සමහර දේවල් මතක් වෙනකොට හිතට දුකක් එකවා සමනලී.. ඒවගේම පාසල් යන ලමනි දකිද්දි අනේ අපිට මෙහෙම කාලයක් ආයෙ එන්නෙ නෑ නේද කියලා හිතෙද්දි හිතට දුකයි…. ආයේ කවදා ඒ ජීවිතේට යන්නද ඉතින්……?
හ්ම්…. ඒක නම් ඇත්ත….. සමනලීගේ ජීවිතෙත් ඒ වගේ අසුන්දර සිදුවීම් නැතිවාම නෙවී…. ඒත් සමනලී කලින් දවසක කීවා වගේ “පුංචිම දේටත් වටිනාකමක්” කියන සිතුවිල්ල ඒ දුක තුනී කරන්න උදව්වට එනවා……
hiks…
😀 😀
anit kata tikat kiyannako
කියන්නම් කියන්නම් බිඟුවා අයියේ….. 🙂 ඒවත් ඉක්මනින්ම කියන්නයි සමනලීගේ බලාපොරොත්තුව….
මොකෝ මේ බිඟුවා අයියා ඉංග්‍රිසියෙන් ටයිප් කරන්න අරන්???
මමත් ඉතිං ඉස්කෝලෙ යන කාලෙ මේ වගේම චැටර් බොක්ස් එකක් තමයි 😀
වටේ පිටේ ඉන්න එවුන්ටවත් වැඩක් කරන්න දුන්නෙ නෑ, උන්වත් කතාවට අල්ලගන්නවා 😀
ඒ පුරුද්දටද කොහෙදෝ දැනුත් කැම්පස් එකේ ලෙක්චර් එකක් අහගෙන ඉන්න හරිම කම්මැලියි.
අන්න හරිම වචනේ… “චැටර් බොක්ස්”
ස්තූතියි ඉන්දරේ…..! 🙂
අපිනම් ඔය චෙස් ඇදිල්ලට අහු උනේ කලාතුරකින් හැබැයි ඇද්දොත් ඇද්දමයි ආයෙ වෙනස් වීම තහනම්. ටීචර්ලට ඕක එපා උන තරම කියනවනම් අපිව අන්තිමට රෙජිස්ටරේ පිලිවෙලට වාඩි කෙරෙව්ව…. හිහ්….. හා පැටික්කිටත් තියනව මරු මතක…
සමනලීගේ සීදේවි ටීචරුත් එහෙම තමයි කිවේ….
” ආයේ මාරු වෙන්න බෑ… හැමදාම ඔහොම්ම ඉන්න ඕනා!!!”
ඒ උනාට ටීචර් පන්තියෙන් ගිය ගමන් ආයෙත් කට්ටිය හිටපු තැන් වලටම ඇවිත්…. සමහර වෙලාවට මිස් හදිසි පණිවුඩ වලට office එකට ගිහින් එන පරක්කුවට එයා අමාරුවෙන් ඇදපු ඉත්තෝ ටික ආයේ මාරු වෙලා…. 😀
සමනලී වගේම තමයි අපිත් උදේට ඉස්කේලෙ ගිහින් බලන් ඉන්නෙ උගන්නන්න ටීච එනකම් නෙවෙයි…පච හලන්න යාලුවො ටික එනකම්.කියවන්න ගත්තම ඉතින් රිදෙන්න කටක් ියෙනවද කියලවත් මතක නැහැ කතා කේච්චිය ඉවර වෙතකම්…හම්ම්ම්…..මටත්හරිම ආස හිතුන සමනලී වගේම ඒ ලස්සන බොහොම සැහැල්ලුවෙන් ගෙවුනු සමනල් කාලෙට ආයෙත් පියඔන්න ඇත්නම් කියල……
ආහ්….. එහෙනම් සමනලී වගේම non-stop කියවන කට නොරිදෙන තවත් බොහෝ දෙනා ඉන්නවනේ? ප්‍රීතියි ප්‍රිතියි..!!!!! 🙂
ස්තූතියි පුබු….!!!
සමනලියේ මට ප්‍රශ්නයක්. මං අලුත් නෙවැ පොස්ට් එක දාල sin out වෙන්නෙ කොහොමදෝ……
කිව්වාට මොකද හා පැටික්කියේ සමනලීත් ඉතින් තාම කෝඩුකාරි….. අපි දෙන්නාම එක බෝට්ටුවේ වාගේ??
ඔය කමෙන්ට් කරන තැන You are logged as ___________ log out කියලා යටින් ඉරි කෑල්ලක් ඇඳපු වාක්‍යයක් ඇති නේද? ඒක ක්ලික් කරලා බලන්නකෝ…. බැරි උනොත් ඉතින් වෙන වැඩ කරුවෙක්ගෙන් අපි දෙන්නාටම ඕක අහගන්න වෙනවා….. 🙂
මමනම් හැමදාම කැමති උනේ ක්ලාස් එකේ ඉස්සර පෙලියට වෙලා ඉන්න.
අහා….!! සමනලීත් එහෙම තමයි…. 😀 ඒත් ඉස්සරහම පේළියේ උන්නත් සමනලීගේ කියවිල්ල නම් වෙනසක් නැතිව ටීචර්ගේ උකුසු ඇස් වලින් බේරිලා සිද්ධ උනා…..
ස්තූතියි V…..!
මට එහෙම එකක් පේන්නෑනෙ සමනලියේ…. කොහෙවත්…..
හපොයි ඒ කියන්නේ තත්වය භයානකයිද? පස්සේ වැඩ කිඩ දන්න කියන කෙනෙක්ගෙන් විසදුම හොයාගන්නකල් හා පැටික්කි ඔයාගේ e-mail account එක තියෙන tab එකට ගිහින් එකෙන් log out වෙන්න….. ඊට පස්සේ ආයෙත් සින්ඩියේ වෙන බ්ලොග් එකකටත් ගිහින් බලන්න තත්ත්වය පෙර සේමද කියලා…..
මගේ පාසැල් සමයේ රසවත් කතන්දර කිහිපයක් සිහිවිය. ස්තුතියි.
කතන්දරකාරයා
එහෙනම් සමනලීටත් හරිම සතුටුයි… ඉතින් ඒවත් අපිට බෙදාහදා ගන්න පළ කරන්නකෝ……
“සමනලී 9 පන්තියේ ඉන්න කාලේ තමයි පාසල් වල ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය කියලා අලුත් වැඩක් පටන් ගත්තේ. ”
ඔන්න ඉතින් සමණලී ගෙ වයසත් අහුවුනා….
ඕක ඉතින් කියවිලේ ප්‍රතිඵල තමා…
ඔන්න අපි දන්නෙ නෑ… හොදේ….
හී හී…. සමනලී ඔය අනිත් ගෑණු ළමයි වාගේ වයස හංගන්නේ නෑ…… 😀
ස්තූතියි sulaga…..!
මට නම් කියවල 9 වසරෙදි ඇදුනා ලොතරැයියක් සිංහල ටීචර්ගෙන් ප්‍රධාන රැස්වීමේ කථාවක් කොහොම හරි ඒක කලා. කලා කිවුවට නෑව එදායින් පස්සෙ මගෙන් වචනයක් ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නවා වගේ තමා.
ම්…. සමනලීට ඇදුනේ නැත්තේ ඔය ස්වීප් එක විතරයි…. එහෙම දෙයක් ලඟ ලඟ එනකොට සමනලී උන් හිටි තැන් වලින් පියාඹලා ගිහින්….. 😀
ස්තූතියි Indraj…..!
සාමාන්‍ය පෙළ මතක් කලාට වැප්ට පින්සිද්ද වෙන්න ඔනා ….
හිකිස් … ඊලඟට ලියන ලිපියෙනුත් දෙන්නම් අලුත් මාතෘකාවක්
නැතුව නැතුව වැප්…. ස්තූතියි…!
එහෙනම් ඊලග ලිපිය එනකල් මඟ බලන් ඉන්නම්….. 🙂
ඒ වැඩෙත් මං දවල් කරා සමනලී…. වර්ඩ් ප්‍රෙස්ස් ඒවදි එහෙමෙ වැටෙනෙ එක සාමන්යද මංද.. මදෑ කොරා……
ඒ ගැන ටිකක් හොයලා බලන්න ඕනා….. දැන් වැඩේ යන්තම් ෂේප් උනා නෙව…… 🙂
ඒත් ශේප් වෙලා නෑ කියල දැන්නෙ දැක්කෙ… දැන්නම් ඉතින් හා පැටික්කිගෙ සීමාව ඉක්මෙනව….
අනේ ඉතින් සමනලී මක්කැයි කරන්නේ??? 😦
සමනලී
අපි ඔය චෙස් ඇදිලි වලට අහු උනේ නෑ. මොකද දන්නවද මම මගේ පුටුවෙ ඉන්නවට වඩා හිටියේ අපේ ප්‍රින්සිපල්ගෙ මේසෙ යට. එතුමට මතක නැතුව යනවා. රවුමක් ඇවිදල ඇවිල්ලා වාඩි උනාම කකුල් දෙක මගේ ඇගේ වදිනකොට තමයි මතක් වෙන්නෙ. තවම මෙතනද දුවපිය පන්තියට කියල එලවනවා. මමත් දුවනවා. ඉතිං මොන චෙස්ද
සුභ දවසක්
ඒකත් තවත් රසබර මතකයක් වගෙයි…… ඒ සමනලීගේ ඉස්කෝලේ ඉතින් එහෙම දඬුවම් තිබුනේ නෑ…. ගැහැණු ළමයි නිසා…
තව ඒ වාගේ රස කතා තියේ නම් අපටත් කියන්න……
ස්තූතියි දයියා……!
“දනිපනි”
කොහෙන්ද වචනේ හොයාගත්තේ
ස්තුතියි පාසල් අවධිය මතක් කළාට
ම්…. ඇයි ඒ වචනේ හුරුපුරුදු එකක් නෙවීද? 🙂
පාසල් අවධිය මතක් කරන්න ගියාම කොයිතරම් හිතට සතුටක් දැනෙනවද…….
ස්තූතියි ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය……!
හික්…හික්…. මක්කවත් එපා…. වෙන දෙයක් වෙන්නැතෑ….
🙂
හෆෝයි අපි ඉතිං මිශ්‍ර පාසැල් වලට ගිය උදවියනේ..චෙස් ඇදල ගෑණු ළමයෙක් ළඟට හෙම වැටුනොත් විළි ලැජ්ජා හැත්තෑවයි ඔය 7-8 වසරවලදිනම්..
පස්සෙනම් ඉතිං 😉 අනේ මංද…. 🙂
අහා….. ඒක එහෙනම් වෙනම රස කතාවක් වගෙයි…..!!! 😀
ස්තූතියි indika…..!!!
පාසල් සමය කියන්නෙ ඉතින් ඕන දෙනෙක්ට අමතක නොවෙනම කාලයක්නෙ. ඒ කලෙ වෙච්ච වැඩ මතක් කර කර මැරෙනකම් හිනා වෙන්න පුලුවන්. කරපු හපන් කම්, ගොන් කම්, මෝඩ කම්, නම් කොච්චරක් කියලද.
ඒත ඇත්ත…. කොයි තරම් මතක් කලත් එපා නොවෙන සුන්දර මතකයක් තමයි ඒ තාලේ…..
ස්තූතියි අනුරාධ…..!
LOLZzzzzz
😀
නියමයි සමනළී..
ස්තූතියි Ansh Lucky Sri Jay…..!!! 😀 😀
සමනලීගේ පන්තිය හොදයි නේද?
මරු පන්තියක් නේ. අපි නම් රවුමට හිටියේ 4 වසරෙදි තමයි. ඒකත් කජු ගහක් යට 😀
ගහක හෙවන යට පන්තියක යාලුවෝ එක්ක ඉගෙනගන්න එක හරිම සුන්දර අත්දැකීමක් ගයාන්…. සමනලී ඒ අත්දැකීම කවදාවත් විඳලා නෑ…. ඒත් ජීවිතේ එක වතාවක් හරි ඒක ලැබගන්න තියේ නම් සමනලී හරිම ආසයි……
මට නම් පාසැල් කාලය හරිම අමාරු වුණා…… අපේ අප්පච්චි ඒ පාසැලේම සිටි නිසා…….. අපි වැරදි කරල අහු වුණාම [ බොහෝ විට පංතියේ සියලු දෙනාම වාගේ ඊට සම්බන්ධයි.]අනික් අයට දෙකක් නම් ගහන්නෙ , මට හතරක් ගැහුවා.හැම අවස්ථාවකදීම එහෙමයි. අනෙක් අයට වඩා දෙගුණයක් දඬුවම් මට ලැබෙනවා.
ඒ කාලෙ මම අප්පච්චි එක්ක ඒ ගැන තරහෙන් හිටියත් , මට දැන් වැටහෙනවා ඔහු නිවැරදි බව…..
අපොයි හරිම භයානක තත්ත්වයක් නෙව!!! ඒත් දෙමාපියෝ වැරදි නෑ කවදාවත්.. ඒ අය අපට වඩා අත්දැකීම් තියෙන අය