කිසිදා නොපිරුනු අරුම පුදුම පෙට්ටිය…….
ඔන්න ඉතින් “අනේ විභාගේ… විභාගේ…” කියලා සමනලී කාලයක් නිහඩ වෙලා උන්නා…… දැන් විභාගේ යාන්තම් ඉවරයි….. ඒ පාර විභාගේ ඉවරවෙලත් “අනේ වැඩ වැඩ…. පැවරුම් කෝටියයි….” කියලා කියන්න සිද්ධ උනා නෙව සමනලීට!!!!! 😦
ඒත් ඉතින් සමනලීගේ අයිතිකාරයා සමනලීට ආදරෙන් හැමවෙලේම මතක් කරලා කියාදෙනවා හැමදේටම වෙලාව වෙන් කරගෙන හැමදේම හොදට කරන්න අපි පුරුදු වෙන්න ඕනා කියලා….
ඉතින් ලැබුනු පුංචි ඉස්පාසුවකදී සමනලී අහපු මේ පුංචි කතාව ඔයාලා එක්ක බෙදාගන්න සමනලී හිතුවා.
මුලින්ම සමාවෙන්න ඕනා මේ කතාව සමනලී ඇහුවේ පුංචි කාලේ.. ඒ නිසාම මේ කතාවේ පසුබිම් විස්තරය සමනලීට මතක නෑ… මේක එක්තරා රටක ජන කතාවක් වග මතකයි, ඒත් ඒ රට මතක නෑ…. මෙහෙම බාගෙට මේ කතාව පලකරන එක හරිමදි උනත් මේකේ කියවෙන දේ හරිම වැදගත් කියලා හිතෙන නිසාමයි මේ ඔයාලා එක්ක බෙදාගන්නේ……
හා හා දැන් වෙන කතා ඇති නේද? අපි කතාව අහමු…….
එක්තරා රටක බොහොම ලස්සන ගම්මානයක් තිබුනා. ඒ ගමේ වැසියන් බොහොම වෙහෙස මහන්සි වෙලා උපයාගත් මුදලින් ජීවත් උනා. දිනක් මේ ගම්මානයට අමුත්තෙකු පැමිණියා. ඔහු ගමේ වැසියන්ට විශාල මුදලක් එකවර සොයාගත හැකි ක්‍රමයක් තමුන් සතු බව පැවසුවා. ගම්මුන් ඉතා උනන්දුවෙන් ඒ පිලිබද විස්තර අසා සිටියා.
අමුත්තා තමා අතැති කුඩා පෙට්ටියක් පෙන්වා සිටියා.
“මේ පෙට්ටිය පිරී ඉතිරී යන තුරු ඔබ කැමති ඕනෑම දෙයක් මෙහි පුරවා පෙන්වන්න. ඔබ අතරින් යම් කෙනෙකු මේ පෙට්ටිය පිරී උතුරා යන තරම් යමක් පුරවා පෙන්නුවොත් මෙන්න මේ විශාල රන් කාසි මල්ල ඒ පුද්ගලයාට ලැබේවි…..”
අමුත්තා කුඩා පෙට්ටියක් සහ ඊට වඩා විශාල බරැති රන් කාසි මල්ලක් පෙන්වා සිටියා.
“අපෝ මේ කුඩා පෙට්ටිය පුරවන්න බැරි කාටද? මොහු මහ මෝඩයෙක් නෙව මෙවැනි ඔට්ටු අල්ලන්න….” ගැමියන් සිතුවා. ඔවුන් අර විශාල මුදල ලබාගැනීමට සිතා පෙට්ටිය පුරවා පෙන්වන්නට අවස්තාවක් ලබා ගන්නට පොරකන්නට උනා.
“මොහොතක් ඉවසන්න මගේ මිත්‍රයනි…” අමුත්තා කපටි ලෙස සිනාසුනා…. “මෙය කොන්දේසි සහිතයි! ඉදිරිපත් වූවෙකුට පෙට්ටිය පුරවා උතුරා යනු පෙන්වීමට නොහැකි වූවොත් ඔහු මට රන් කාසි 10 බැගින් ගෙවිය යුතුයි…..”
“මේ නම් මහා මෝඩයෙකි…. මේ පෙට්ටිය පිරවීම මහා දෙයක්ද?” සිතූ ගැමියන් ඉවසිල්ලක් නැතිව ඉදිරිපත් වෙන්නට පටන් ගත්තා……
අමාරුවෙන් පොරකමින් පළමු අවස්ථාව ලබාගත් තැනැත්තා අමුත්තා දෙස සිනාවක් හෙලමින් පෙට්ටිය අතට ගත්තා. උදැල්ලක් අතට ගත් ඔහු වහාම පෙට්ටියට පස් පුරවන්නට පටන් ගත්තා. ඉතා වේගයෙන් පෙට්ටිය පිරෙන්නට ගත්තා. කට ලගටම පිරුණු පෙට්ටිය ඉන් එහාට කොතරම් පස් දැමුවත් පිරී ඉතිරී ගියේ නෑ!!! ගැමියන් සියල්ල විස්මයෙන් බලා උන්නා. පස් පුරවන්නට ගත් ගැමියා පෙට්ටිය ඔසවා එහි යට පැත්තේ සිදුරක්වත් තිබේදැයි පරීක්ෂා කලා. නමුත් එවැන්නක් නොවීය. රන් කාසි මල්ල දෙස ගිජු බැල්මක් හෙලූ ගැමියා උත්සාහය අත් නොහැර තව තවත් පස් පුරවන්නට වූවත් පෙට්ටිය පිරී ඉතිරුනේ නම් නෑ…!!! අවසන වෙහෙසට පත් ඔහු ඉතා දුකසේ තමා සතු රන්කාසි 10ක් අමුත්තා අත තබා ඉවත් උනා……
නමුත් ගැමියන් රන් කාසි මල්ල අත්පත් කරගැනීමේ ආසාව අතහැරියේ නැත. බොහෝදෙනෙක් පෙට්ටිය පුරවන්නට ඉදිරිපත් විය. ඔවුන් එක එක්කෙනා විවිධ දේ යොදාගෙන පෙට්ටිය පිරවීමට උත්සාහා කලහ. වැලි, ජලය, පිදුරු, ගොම, කඩදාසි, රෙදි යනාදී ලෙස තවත් බොහෝ දේ ඔවුන් යොදාගෙන උත්සාහා කල නමුත් ප්‍රථිපලය එකම විය…. සිදුරක් නොමැති ඒ කුඩා පෙට්ටිය කට ලගටම පිරෙන මුත් කිසිම දෙයකින් පිරී ඉතිරී නොගියේය!!!!!! ඉදිරිපත් වූ සියල්ලන්ටම සිදු වූවේ රන්කාසි මල්ලක් දිනාගැනීම වෙනුවට තමා සතු රන්කාසිත් අමුත්තාට දීමටයි….
අවසානයේ එහි විසූ සියලුම ගැමියන් මේ සදහා ඉදිරිපත්ව තිබුනු නමුත් කිසිවෙක් කිසිම ද්‍රව්‍යයක් යොදාගෙන මේ අරුම පුදුම පෙට්ටිය පිරවීමට නම් සමත් නොවීය!!!!! අමුත්තා රන් කාසි විශාල ප්‍රමාණයක් අසරණ ගැමියන්ගෙන් උපයාගෙන තිබිනි.
දිනය අවසානයේ අමුත්තා ඉතා සතුටින් සිය බඩුබාහිරාදිය අසුරා ගත්තේය. “ඉතින් මගේ මිත්‍රයනි මට කණගාටුයි. ඔබ කිසිවෙකුට බැරිඋනා නෙව මගේ අභියෝගය දිනන්න… තවත් මෙහි සිටීමෙන් මට පලක් නෑ…. මම සමුගන්නයි හදන්නේ….”
මේ අතර මේ අරුම පුදුම පෙට්ටිය ගැන ගම්මානයේ පූජකවරයාට දැනගන්නට ලැබුනා. එතුමා වහාම අමුත්තා සොයා පැමිණියා. අමුත්තා පිටත් වීමට පෙර ඔහු වෙත පැමිනෙන්නට පූජකවරයා සමත් වූවා.
“කරුණාකර මදක් නවතින්න මිත්‍රයා….. කෝ බලන්න ඔය පෙට්ටිය…….” අමුත්තා නොකැමැත්තෙන් පෙට්ටිය පූජකවරයා අතට දුන්නා. පෙට්ටියේ පතුල දෙස විමසිල්ලෙන් බැලූ පූජකවරයා “හොදයි මමත් කැමතියි අභියෝගය භාරගන්න” කීවේ ගම්මුන් විස්මයට පත්කරමින්.
පූජකවරයා අසල ගෙයකින් ජල බදුනක් ගෙන්වාගෙන එහි වූ ජලය ක්‍රමයෙන් පෙට්ටියට වත්කලේය. පුදුමයකි ජලයෙන් පිරුණු පෙට්ටිය පිරී ඉතිරී ගියේය!!!!!! ගැමියන් විශ්මයටත් සතුටටත් පත්ව කෑ ගසද්දි අමුත්තා පලා යාමට උත්සාහ කලේය.
ගැමියන් විසින් අල්ලාගත් අමුත්තා පූජකවරයා ඉදිරියට ගෙන එන ලදි. අමුත්තා දෙස කරුණාවන්ත ලෙස බැලු පූජකවරයා “මිත්‍රයා… ඔබ විසින් මෙතෙක් වේලා භාවිතා කල බොහෝ මිනිසුන් ලග තිබෙන ලෝබකම තණ්හාව මට නැහැ. ඒ නිසා මට ඔබේ රන්කාසි මල්ල එපා. නමුත් ඔබ මේ අසරණ ගැමියන්ගෙන් ලබාගත් ඔවුන්ගේ රන්කාසි නැවත ඔවුන්ට දී ඔබ මේ ගමෙන් පිටවෙන්න”
අමුත්තා ඒ රන්කාසි ගැමියන්ට දී ඉතා ලැජ්ජාවෙන් පිටව ගියා.
ගැමියන් පූජකවරයා වටකොටගෙන විස්මයෙන් ප්‍රශ්න කරන්නට උනා.
“අපොයි අපි කෙතරම් උත්සාහා කලත් පිරී ඉතිරී නොගිය ඒ පෙට්ටිය ඔබතුමා එතරම් ලෙහෙසියෙන් ඉතිරෙව්වේ කොහොමද?”
මිනිසුන් දෙස කරුණාවෙන් බැලු පුජකවරයා මෙසේ පැවසුවා,
“දරුවනි, ඒ අමුත්තා කලේ ඔබ සැම තුල පවතින කිසිදා නොසන්සිදෙන ආශාව, තණ්හාව සහ ලෝබකම ප්‍රයෝජනයට ගැනීමයි. මිනිස් සිතේ නොනිමෙන ආශාව ලෙහෙසියෙන් පුරවන්නට බැහැ…. ඔබ කෙතරම් උත්සාහා කලත් ඒ පෙට්ටිය නොපිරුනේ ඒ නොනිමෙන ආශාව නිසයි”
ගැමියන් පුදුමයෙන් බලා සිටියා…..
“මා විසින් කලේ ඒ බාධකය ඉවත් කිරීමයි” පූජකවරයා සිනාමුසුව පැවසුවා
“ඒත් ඔබතුමා කොහොමද ඒ බාධකය ඉවත් කලේ? කොහේද එය තිබුනේ?” මිනිසුන් අසන්නට උනා.
තම අතේ තිබූ යමක් ගැමියන් සියල්ලටම පෙනෙන සේ අල්වාගත් පූජකවරයා ඔවුන්ට මෙසේ පැවසුවා,
“මෙය ඒ පෙට්ටිය පතුලේ සඟවා තිබුනා…. පේනවා නේද මෙය මිනිස් ඇසක්…. කිසිදා තෘප්තිමත් නොවෙන, ලද දෙයින් සෑහීමට පත් නොවෙන මිනිස් ඇසක්…. මෙවැන්නක් තිබෙන තාක්කල් කෙසේද ඒ පෙට්ටිය පිරි ඉතිරෙන්නේ???? මම එය ඒ පෙට්ටියෙන් ඉවත් කලා….. ”
ඔන්න ඕකයි කතාව…. මේක ජනප්‍රවාදයේ එන කතාවක්…. අපි කොයිතරම් තණ්හාවෙන් ආසාවල් පසුපස හඹාගෙන යනවාද….?
ඉතින් කතාව ගැන හිතුනු දේ සමනලීට කියලාම යන්නකෝ……..
හ්ම්….. සෑහෙන්න වැදගත්, ඒ වගේම හිතන්න දෙයක් තියෙන කතාවක්…….. ස්තුතිය් අපිත් එක්ක බෙදාගත්තට. 🙂
හොඳ පෝස්ට් එකක්
ලොකු අදහසක් තියන පොස්ට් එකක්
හොද දෙයක්.. ඇත්ත තමයි
කතාව නම් ඇත්ත තමයි.
මමත් මේ කතාව අහල තියෙනවා අක්කියෝ…ඒත් කොහේදිද කවදද කියලනම් මතක නෑ….මතකය අළුත් කරාට බොහෝමත්ම ස්තූතියි අක්කියෝ…..
සහතික ඇත්ත
නියමයි
මහ ගුප්ත කථාවක්… වයස යන්න යන්න අමාරු වෙනවා…. ඔය තෘප්තිමත් බව ලඟකරගන්න නේද… මම අතහැරියා බොහොමයක්… ආසන්න ලෙස තෘප්තිමත්…
අර උඩම තියන සින්දුවේ කථාවත් අපූරුයි… මේ සයිට් එක බොහොම වෙනස් නේ පුංචි සමනලියේ…?
@ Chandika :
කතාව හිතට ඇල්ලුවාද? එහෙනම් සමනලීට සතුටුයි….. ස්තූතියි
—————————-
@ හෙළයා
ස්තූතියි !
—————————
@ ඉලංදාරියා…….
ස්තූතියි ! සමනලිගේත් හිත ගියේ ඔය කතාවේ සැඟවිච්ච ඒ තේරුමට තමයි
————————–
@ abeetha
ස්තූතියි !
————————–
@ isimbuwa
ස්තූතියි !
————————-
@ ෴ හසියා ෴
ස්තූතියි ! සමනලීත් ඕක ඇහුවේ පොඩිකාලේ…. ඒත් මේක අයිති රට මතක නෑ නෙව
————————-
@ palaamalla
ඒකනේ මිනිස්සුන්ට කොයිතරම් ලැබුනත් මදි කියනවනේ……
ස්තූතියි !
————————
@ Hasitha ජයසූරිය
ස්තූතියි !
@ තිස්ස දොඩන්ගොඩ අයියා
හානේ එහෙනම් අයියාත් මේ පුංචි සමනලීව බලන්න ඇවිත්නේ? හරිම සතුටුයි 🙂
ආසන්න ලෙසවත් තෘප්තිමත් නම් කොයිතරම් දෙයක්ද අයියේ? ඔය කතාව අහද්දි සමනලී පොඩියි. ඒත් සමනලීට එවෙලෙ හිතුනේ නෑ “මොන බොරුද? ඇහැක් නිසා එහෙම වෙයිද? ඇහැක් එහෙම තියන්න පුලුවනිද?” කියලා… ඒකේ යටින් කියවෙන අර්ථයට සමනලී හරිම ආසා උනා…. ඒ නිසාමයි පුංචිකාලේ එකම එක පාරක් අහපු කතාව මේ තරම් හිතේ මතක තිබුනේ….
සිංදුවේ කතාව බොරු නෙවී නේද අයියා? උදේම දවස පටන් ගන්න ඕනා සතුටින් නැවුම්වනේ……
බොහොම වෙනස් සයිට් එකක් කීවේ? ඒක අයියාගේ හිතට ඇල්ලුවේ නැද්ද මන්දා???? සමනලීගේ සිතැඟි, අහපු දැකපු දේවල්, ඉදහිට ලියවෙන පුංචි කවි එහෙම බෙදාගන්නයි මේ ඉඩකඩ හොයාගත්තේ…. සමනලී ආධුනිකයි, සමහර දේවල් ටිකක් බොලදත් ඇති නේද? සමනලී තාම පොඩියිනේ ඉතින්…..
අනේ වැරැද්දක් එහෙම දැක්කොත් කියාදෙන්න අයියේ….. ඒ උපදෙස් හුඟක් වටිනවා සමනලීට…….
ආ…. මේ සමනලී ඇවිල්ල ඉන්නේ. ඇවිල්ලා තියෙන්නෙ නිකම්ම නෙවෙයිනෙ. බොහොම වටින කතාවකුත් අරගෙනනේ. කතාව බොහොම රහට ලියල තියෙනවා. කියවන් යන්න ආසයි. දැන් ඉතින් දිගටම ලියන්න. ඔය ඇති නිවාඩු ගත්තා.
හොඳ කතාවක්. ස්තූතියි..
@ අනුරාධ
ස්තූතියි ! අහපු කතාවක් තමයි සමනලී මේ සමනලීගේ වචනෙන් ලීවේ…. ඒක හොදයි නම් ඇත්තටම සතුටුයි සමනලීට 🙂
වැඩ අස්සේ කොහොමහරි ලියන්න වෙලාව හොයාගන්න ඕනි
——————————-
@ ලසන්ත
ස්තූතියි !
මේ ඇස විතරක් නෙමෙයි ඇසයි හිතයි දෙකම නිසයි මෙහෙම වෙන්නේ
“පුජකතුමාගේ කතාවෙන්වත් අපිට හැදෙන්න පුළුවන් නම්”
සමනලී හොද අදහසක් දුන්නේ ඔයා, ස්තුතියි
“පුජකතුමාගේ කතාවෙන්වත් අපිට හැදෙන්න පුළුවන් නම්”
සමනලී හොද අදහසක් දුන්නේ ඔයා, ස්තුතියි