අන්තර්ගතයට පනින්න

සමනලීගේ කැඩුනු කකුලේ බලයෙන් දග පොඩ්ඩන් හොද පොඩ්ඩන් උන හැටි….

2010 නොවැම්බර් 19

සමනලී බස් එකෙන් වැටිලා තටු කඩා ගත්තු කතාව දැන් ඉතින් හැමෝම දන්නවනේ නේද? දන්නේ නැති අයට ඕනා නම් මෙතැනින් ඒක අග සිට මුලටම දැන ගන්න පුලුවනි ඔන්න. (හැබැයි මුල විතරයි ඉතින්, අග තාම නැහැනේ… සමනලීට තාම හරියට සනීප වෙලා නැති නිසා අග කොටස සම්පූර්ණ නෑ)

තනි පයින් වැඩ කරගෙන තනිකම දරාගන්න බැරිව අමාරු කාලයක් ගෙවන ගමන් සමනලී මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ සිද්ධිය නිසා සමනලීට මුහුණ දෙන්න උන අත්දැකීම් වලින් ටිකක් ඔයාලා එක්කත් බෙදාහදා ගන්නයි…….

දැන් ඉතින් අසනීප උනාම, සමනලී වගේ තටු කැඩිලා එකතැන් උනාම හිතමිත්‍රාදීන් දුක සැප බලන්න ලෙඩා බලන්න ඈවිත් යනවනේ.. සමනලී බලන්නත් ගොඩාක් දෙනෙක් ඇවිත් යනවා. වෙලාවකට ඒ අය අනුකම්පාවෙන් ව​ගේ සමනලී දිහා බලන එක සමනලීට වදයකුත් වගෙයි. ඒත් සමනලි ආසම වැඩේ ඒ අය එක්ක පුංචි දරුවෝ ආවමයි! සමනලීගේ කැඩුනු කකුලටත් පුදුම බලයක් තියෙන බව සමනලී දැනගත්තේ එයාලා ආපු වෙලාවල් වලදියි!!! ඒ බලයෙන් දග ළමයි හොද ළමයි කරන්න පුලුවනි!!!

මෙන්න මේකයි සිද්ධ උනේ……….

පුංච් ළමයින්ට හරි හරි ප්‍රශ්න නෙව තියෙන්නේ… හරියට අර “කෙසෙල් කොටුවේ චූටි මහත්තය”ට තිබුනු ඔලුව හිර උන ප්‍රශ්න වගෙයි…. 🙂 සමනලීව බලන්න එන පොඩ්ඩෝ හැමෝම එකම විදියට තමයි ප්‍රශ්න ඈහුවේ. ඒත් එයාලගේ අම්මලා දුන්න උත්තර ඇහුවාම නම් පොඩ්ඩන්ට හිතෙන්න ඈති අනේ මම ඒක අහපු මෝඩකම කියලා!!!!!

හැබෑට මොකද්ද දැන් මේ පොඩ්ඩෝ හැමෝම අහපු ඒ වැදගත් ප්‍රශ්නේ???? ඒක තමයි….

“අමිමේ…. ඈයි අර අක්කාගේ කකුලට එහෙම වෙලා?? මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ඈයි ඒ අක්කා ඇදට වෙලා කකුල ඔතාගෙන ඉන්නේ???”

ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. පොඩ්ඩෝ ඈස් දෙක ලොකු කරන් යකෙක් දැක්කා වාගේ සමනලීගේ ප්ලාස්ටර් කරපු කකුල දිහා බලන් ඉන්නේ. ඉතින් බබාලගේ අම්මලාත් කියනවා “ඒ අක්කගේ කකුල කැඩිලනේ පුතේ ඒකයි ඒ ” කියලා. දැන් කකුල නිකම්ම කැඩෙන්නේ නැති බව මේ නුවණැති පොඩ්ඩෝ දන්නවනේ. එහෙනම් තවත් ප්‍රශ්න අහන්නෙපැයි….

“ඒ කොහොමද අම්මේ කකුල කැඩුනේ? :O

පොඩ්ඩෝ ඒක අහන්නේ තමුන්ගේ කකුලත් අතගාලා බලලා ඒක හොදට තියෙනව​ නේද කියලා සැක හැර ගන්න ගමන්. ඔන්න එතකො​ට අම්මලා දුන්න උත්තර තමයි උත්තර…. සමනලීත් උඩබිම බැලුවා ඒවා ඈහෙද්දී….. හැබෑටම මොනාද අප්පේ ඒ පුදුම උත්තර??? ඔන්න එහෙනම් අහගන්නකෝ……

“ඒ අක්කිට කොච්චර එපා කීවත් ගේට්ටුව ඈරිය ගමන් පාරටම දුවනවලු! ඉතින් දෙවියෝ එයාගේ කකුල කැඩෙන්න පාරක් ගහලා අම්ම කීව දේ අහන්නේ නැ කියලා!!!!”

“ආන්න දැක්කද? ඒක තමයි මම පුතාට කියන්නේ බිත්තියේ තියෙන ස්විච් අල්ලන්නෙපා කියලා…. ඒ අක්ක එහෙම කරලා කකුලට කරන්ට් වැදිලා!!!”

“ඔන්න අපි දන්නේ නෑ ඔයත් අයියාගේ ඈදුම් විසි කරන්න… අයියගේ බඩු අදින්න… ඒ අක්කත් එහෙම කරලා එයාගේ තාත්තට හොදටම තරහ ගිහින් කකුලට ගහලා!!! දැක්කා නේද?”

“ඒකනේ අම්මා කියන්නේ බබා කෑම ඔක්කොම කන්න කියලා. ඒ අක්කි කන්නේ නෑලු, කෑම එපා කියලා අඩනවලු. කෑම නැතිව කකුල් හයිය නෑනේ… ඉතින් කැඩිලා!!!!”

“ඒ අක්කා එයාගේ අයියට පයින් ගහන නෝටි අක්කා කෙනෙක්ලු. එහෙම කලාමනේ කකුල් කැඩෙන්නේ… ඒකනේ අම්මි බබාට කියන්නේ අයියට පයින් ගහන්නෙපා කියලා!!!!”

“අක්කා පාරේ යද්දි දකින දකින දේ ඉල්ලලා අඩනවලු. එහෙම නරක ළමයින්ට තමයි ඔහොම වෙන්නේ!!!!”

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ!!!! මේ මොනාද බොලේ මේ කියන්නේ???? සමනලී ජීවිතේටම කරලා නැති විදියේ වැරදි වැඩ ටොන් එකක් එතැන…… අනේ අර පොඩ්ඩෝ ලොකු කරගත්තු ඇස් තවත් ලොකු කරගන්න ඉඩ මදි නිසා කටත් ඇරන් සමනලී දිහා බලන් ඉන්නේ.

සමහරු හිතනවා ඈති “අපොයි මෙයත් හරිම නරක ළමෙක්නේ… චී චී” කියලා. තවත් සමහරුන්ගේ මූණෙ තිබුනේ “හා හා එහෙනම් මෙයත් මගේ ජාතියෙමනේ… හරි ෂෝක්නේ” වගේ බැල්මක්!!!!! 🙂

අර අම්මලත් ලැබුනු අවස්තාවෙන් ගත්තේ නැතෑ උපරිම ප්‍රයෝජනේ…. පොඩ්ඩෝ ඉස්සරහ සමනලීගේ නම්බුව ඉවරයි…. 😛

ඒ අස්සේ සමහර පොඩ්ඩෝ අඩන්න ඔන්න මෙන්න, සමහරු නම් ටැප් එකක් ඇරියා වගේ අඩන්න අරන්….. ඈයි ඉතින් දැන් ඔය කීවේ තමුන් කරන වැරදි වැඩනේ, අපෝයි දැන් කකුල කැඩුනොතින් එහෙම?? සමනලීට පවු කියලත් හිතුනා. ඒත් ඉතින් ඒ පුංචි වයසේ එයාලා ඒක ඈත්ත තමයි කියලා විස්වාස කරලා එ වැරදි නොකර ඉන්න එකත් හොදයිනේ?

කොහොමහරි අනේ මේ අහිංසක සමනලී අර එන පොඩ්ඩෝ ඉස්සරහ මහ නරකම නරක ළමයෙක් උනේ නැතැයි…… ආ……. ඔය එක එක දග වැඩ කරන හදාගන්න බැරි පොඩ්ඩෝ එහෙම ඉන්නවනම් සමනලී අක්කාගේ කැඩිලා ප්ලාස්ටර් කරපු කකුලෙ බලෙන් හොද මගට ගන්න පුලුවනි ඕං…….. 😀

(සමහර පොඩ්ඩන්ගෙන් ඉතාම හොද ප්‍රගතියක් පෙනුන බව ඒ අම්මලා සමනලීටම ටෙලිෆෝන් කර කියා සිටි බව සතුටින් දන්වමි)

ඉතින් මේ පෝස්ට් එක කියවපු එකේ ඔයාටත් ඒ වගේ අත්දැකීමක් තියේ නම් ඒකත් කියලාම යන්ටකෝ….. සමනලීගේ අත්දැකිම වගේ හරි අර පොඩ්ඩ​න්ගේ අත්දැකීම වගේ හරි???? 🙂

Advertisement
ප්‍රතිචාර 12 leave one →
  1. 2010 නොවැම්බර් 19 පෙ.ව. 6:40

    අහ්..මටත් තියෙනවා ඔය ව‍ගේම සිද්ධියක් කියන්ට…
    මම පොඩි කලේ සෙල්ලම් කරන්න ගිහින් තුවාල වෙච්චි කැලලක් තියෙනවා කකුලේ…හරියටම කිව්වොත් දකුණු කකුලේ බත් කෙන්දේ…(ඒක කොහේ තියෙන කෙන්දක්ද ඒ….) ඒ විතරක් යෑ තව නලලේ මැහුම් දාපු පාරවල් 2ක්ම තියෙනවා මදි නොකියන්න…(අතුරුදහන් වුනොත් එහෙම හොයාගන්න ලේසියි නෙවැ….ඒකයි ඕවා තියා ගත්තේ….)
    ඉතිං දවසක් මේ අපේ නෑදෑ පුතෙක් ඉන්නවා….මේකට වයස අවුරදු අටක් විතර. (ම්ම්මම්ම් තුන වසරේ තමයි ඒ දවස් වල හිටියේ ඕන්…මට ගණන් බෑ…හදාගන්න හරි වයස ඕන්….) ඉතිං අපි දවසක ඒ පොඩි එකාගේ ගෙදර ගියා දානයක් තිබිලා.(නෑ නෑ දානෙටයි බණටයි දෙකටම…) ඉතිං ඔහොම ඉන්න කොට මේ පොඩි එකාගේ වැඩේ ලග ඉන්න එකාට අනිනවා.ගහනවා.කොනිත්තනවා.කෙලින්ම කිව්වොත් දස වද දෙනවා.(දස වද මොනාද හැබෑටම….) මේ පොඩි එකාගේ අම්මටවත් තාත්තටවත් මේ පොඩි එකාව හාම්බාන් කරනවා බොරු….ඉතිං මේ පොඩි එකාට කිසිකෙනෙක් කැමති නෑ.ආදරේට ළගට කතා කරපුවහම ගුටි කන්න බෑනේ ඉතිං.(වදින්න ගිය දේවාලේ හිතලම ඔළුවට කඩා පාත් කරගන්න ඕනි නෑ නේ….) දැන් බණ වෙලාවෙත් ඔහොම්මයි….අන්තිමට ඔන්න දානේ දවස උදා වුනා කියමුකෝ…ඉතිං අපි ගියා ඒ ළග පාත තිබුණු ඇළකට ගියා මුණ කට හොදන්න…ඔන්න ඉතිං පොඩි එකාත් ආවා…..දැන් කට්ටිය මීක් නෑ….ඇයි ඉතිං මේ පොරිසාදයා මොනා කරයිද දන්නේ කවුද?
    ඉතිං ඔහොම ඉන්නකොට මිනිහා දැක්කා මගේ කුකුලේ තිබ්බ අර පොඩි කැලල.මිනිහාට ටිකක් මේක අවුල් වගේ…ඉතිං මිනිහා මගේන් හෙමීට ඇවිත් අහනවා අයියේ මේ කකුලට මොකද වුනේ කියලා….හසියටත් ඉතිං අර තැනට සුදුසු නුවණ පාවිච්චි කොරල මෙහෙම කිව්වා…
    අහ්…ඒ මං ඉස්සර මගේ යාළුවන්ට ගෙදර අයට නෑදෑ අයට කරදර කරනවා.ගහනවා කොනිත්තනවා හපනවා….බ්ලා බ්ලා බ්ලා….ඉතිං දවසක් මම ඔහොම කරදර කලා මගේ අයියා කෙනෙක්ට..එයාට හොදටම ගැහුවා කෙනිත්තුවා…ඉතිං ඒ අයියා එදා මා එක්ක තරහා වුනා.කොහොම හරි එදා රෑ මට එකපාරටම ඇහැරුනා අත පිච්චෙනවා දැනිලා…මට දැන් හොදටම රිදෙනවා දනවා..එහෙම කියලා අතේ තිබ්බ පොඩි කැලලක් පෙන්නලා කිව්වා…මේ තියෙන්නේ ඒ කැලල…තාම තියෙනවා.මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා කියලා.ඉතිං ගෙදර අය කිව්වා මට ඔහොම වෙන්නේ අනිත් අයට කරදර කර‍නකොට කියලා.ඉතිං මං ඕක විශ්වාස කලේ නෑ.එහෙම කොහොමද වෙන්නේ.
    ඉතිං තව දවසක් ඔය විදියටම කරදර කලා මගේ පුංචි කෙනෙක්ට..එදා රෑත් අර වගේම මගේ නලල පිච්චුවා.මේ කැලලා තාම තියෙනවා.එදත් ගෙදර අය කිව්ව දේ පලිගත්තේ නැ…පස්සේ ආයේ දවසක ඔහොම කරපු දෙකට රෑ පුච්චපු කැලල තමයි මේ තියෙන්නේ…මේක පුදුම විදිහට රිදුනා.කොච්චර රිදුනද තුවාල වුනාද කියනවනම් ඇදෙන් නැගිටින්න බැරි වෙන්න කකුල හොලවන්න බැරිව හිටියේ.ඉතිං එදායින් පස්සේ මම කාටවත් ගහන්න බනින්න යන්නේ නෑ.කරදර කරන්නේ නෑ.ඒ අයත් එක්ක ආදරෙන් ඉන්නවා.ඉතිං එදා ඉදන් මට කිසිම අනතුරක් වුනේ නෑ.
    දැන් කොල්ල පට්ට සැලෙන්ඩර්..(මිනිහට චූත් ගියාද මන්ද….) මිනිහා මගේන අහනවා…අයියේ මටත් එහෙම වෙයිද ? ඔව් ඉතිං ඒහෙම වෙනවා…මමත් දැන් තමයි දන්නේ ඕක කරන්නේ යම පල්ලා කියලා..දැන්නවනේ එයාගේ හැටි ඉතිං..දැන්වත් හොදට ඉන්න බලන්න..එතකොට යම පල්ලා මුකුත් කරන එකක් නෑ.ගිහින් අම්මගෙනුයි තාත්තගෙනුයි වැදලා සමාව ගන්න.එතකොට යම පල්ලට පේනවා.ඊට පස්සේ ඉදන් හොදට ඉන්න. කාටත් කරදර නැතිව.හැමෝටම උදව් කරන් ඉන්න….
    එදා ඉදන් මිනාහා සැලෙන්ඩර්….එදා ඉදන් අද වෙනකන් නම් තාම මිනිහගේ දඩබ්බර වැඩක් දැනගන්න ලැබුනේ නෑ…දැන්නම් මිනිහා ඇත්තටම හොදයි.

    ඔන්න ඔහොමයි හසියා ළමයි හොද කලේ….(ඇති ඇති පම්පෝරිය…)
    අහ් තව දෙයක්…මේ කමෙන්‍ට් එකක් වෙනුවට පෝස්ට් එකක් දාන්න දුන්නට පිං හොදේ….
    ඉක්මණට සුවවෙන්න ඕනි ඔන්න අතුතටු….ආයේ දගවැඩ කරනවා එහෙම නෙවේ ඕන්…..

    • 2010 නොවැම්බර් 19 පෙ.ව. 10:49

      ෂාහ්!! ඒ කතාව හරිම ෂෝයිනේ? 🙂 මේ හසියත් හරිම හපනෙක් නොවැ… බොහොම ස්තූතියි ඒ කතාව අපිත් එක්ක බෙදාගත්තට.
      ඈත්තටම පොඩ්ඩෝ හරිම හොදයි, දග වැඩ කරන්නේ නොතේරුම් කමටනේ ඉතින්. එයාලාට ගහන්න බනින්න යනවට වඩා ​හොදම දේ තමයි ඔය වාගේ මට්ටු කරගන්න එක නේද?
      අත්තටු සනීප වෙලා ආයේ පියඹන්න සමනලී ඉස්පාසුවක් නැතිවයි ඉන්නේ…..

  2. 2010 නොවැම්බර් 19 පෙ.ව. 6:48

    මෙහෙමත් නරක අක්කෙක්.
    ඉක්මණට සනීප වෙන්ඩෝ.

  3. 2010 නොවැම්බර් 19 පෙ.ව. 8:40

    හික් හික්!! අම්මලාගෙන් කීයක් හරි ඉල්ලගන්න වටිනවා

  4. 2010 නොවැම්බර් 19 ප.ව. 2:39

    සමනලී කිව්ව කතාව හරි “මං වගේම කෙනෙක්” කියලා හිනා වෙන්න නං මටත් පුළුවන්. මොකද ඉස්සර මටත් ගේට්​ටු පේන්න බෑ. කා එක්ක හරි සෙට් වෙලා ගේට්ටු පදින එකම තමා කරේ.

  5. ළමයා permalink
    2010 නොවැම්බර් 19 ප.ව. 3:17

    අම්මෝ………. සමනලී  කරන වැරදි ගොඩ……… අපේ අම්මා එක්ක මං ආවොත් අපේ අම්මා කියන්නේ “මේ අක්කා උදේ ඉදලා රෑ වෙනකම් කොම්පූටරේමයිලු.. ඒකට තරහා ගිය විදුලිබල මණ්ඩලේ අයයි ටෙලිකොම් එකේ අයයි එකතු වෙලා ගහලාලු” කියලා.. ෂුවර්….

    සමනලී අක්කා ඉක්මනට හොඳ වෙන්නකෝ…..

    • 2010 නොවැම්බර් 19 ප.ව. 3:36

      හිකිස්…… 😀
      එහෙනම් ළමයාගේ ලොකුම වැරැද්ද ඒකයි නේද? හනේ හනේ…….!!

      ස්තූතියි ළමයෝ.. සමනලී ඉක්මනින්ම සනීප වෙන්නයි උත්සහ කරන්නේ

  6. Hasitha permalink
    2010 නොවැම්බර් 20 ප.ව. 7:49

    හැමදෙයක්ම වෙන්නේ හොඳටයි කියනවා වගේ. සමනලී අක්කාගේ කකුල කැඩුනු එකෙන් කාට කාට හරි හොඳක් වෙලා තියෙනවා……………

    • 2010 නොවැම්බර් 20 ප.ව. 9:17

      ඒකනේ කියන්නේ….. 😀 ඒ දග බබාලා දැන් හොද බබාලා වෙලාලු. ඒත් පොඩ්ඩෝ කියන්නේ එහෙම ලේසියෙන් වෙනස් වෙන අය නෙව, ඔය වෙනස කොයි තරම් කාලෙකටද දන්නේ නෑ ඕං 😉

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: