ඊලගට ඔය මේසේ යට ඉන්න ළමයා……
ඔන්න මේ විශ්ව විද්‍යාලේ අවසන් වසර ව්‍යාපෟතියේ දහසකුත් එකක් වන මහා වැඩ කන්දරාවේ හිර වී බොහෝ සෙයින් පීඩිතව ඉන්න අතරේ හදිසියෙම සමනලීට මතක් උනා පාසල් යන කාලේ වෙච්චි දෙයක්….. මේක මේ හරිම චුට්ටං කතාවක් හොදේ?
කට්ටියට මතකද මන්දා අර සමනලීගේ සිංහල ගුරුතුමී ද්විත්ව ක්‍රමයට චෙස් ඇද්ද කතාව? අනේ මේ ආදි කාලේ කියපුවා කාටද මතක නේද? හා එහෙනම් හිටින්නකෝ…. මෙතැනින් ඒක කියවන්ට පුලුවනි නෙව?
හරි…. දැන් මේ කියන්න යන්නේ ඒ ගුරුතුමී එක්ක ගෙවුනු පාසල් ජීවිතේ තවත් සුන්දර මතකයක් තමයි……
ඔන්න ඒ කාලේ (ඒ කාලේ කීවේ 2001 අවුරුද්දේ විතර) තිබුනු අර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ හැටියට හැම විශයටම මාසික පැවරුම් කරන්ට ඕනා…. ඒවට ලකුණු දාන්ට ඕනා…. ඒ ඒ විශයට අදාලව සිසුන්ගේ නම් සහිත පුවරුවක් පන්ති බිත්තියේ එල්ලන්ට ඕනා….. හැම පැවරුමකටම අදාල ලකණු අනුව ඔය පුවරුවේ නමට ඉදිරියෙන් රතු/කොල/කහ/කලු පාට තිතක් සළකුණු කරන්ටත් ඕනා….. අප්පච්චියේ හරිම ජරමරයක් තමයි ඒකාලේ ඔය කේන්ද්‍රය!!! :O
ඉතින් ඔය හදිසියෙන් කරන පැවරුම් වලට ලකුණු අඩු උනෝතින් වස ලැජ්ජාවයි, ඇයි අර පුවරුවේ තියෙනවානේ නමට ඉස්සරහින් ළමයාගේ තරම. ගොඩක් දෙනෙක්ට ඕනා කලේ යන්තම් කොල පාට තිතක් ගන්ට තරමට ලකුණු ගන්න විතරයි… ඒ අස්සේ සමහරු උන්නා රතු තිත වැඩිම සංඛ්‍යාවක් ගැනීමේ මහා තරගයක…. අනේ ඉතින් සමනලී නම් ඕවට නෑ…. ඔය මොකක් හරි සන්තෑසියක් කරලා උත්තර අමුණාගන්නවා….. (ඒත් කලු පාට කහ පාට තිත් නම් ලැබිලත් නෑ…. අනේ මන්දා…?)
ඔන්න දැන් චුට්ටං කතාවක් කීවට තොරණේ විස්තරේ වගේ කියාගෙන යනවා නේද මේ සමනලී? හෝව් හෝව් කෝච්චිය දැන් එමු හරි පීල්ලට…..
දැන් ඔන්න අර සමනලීගේ සීදේවි සිංහල ගුරුතුමී (එයාමනේ පංතිභාර ගුරුතුමී) හරිම උනන්දුයි මේ පැවරුම් සහ තිත් තැබීමේ මහා ජරමරයට. සිංහල විෂයේ හැටියට පැවරුම් කියලා කලේ කියවීම, රචනා, කතික වගේ ඒවා තමයි. කියවීම නම් ලොකු ගැටලුවක් නෙවී. ඔය සිංහල පාඩම් පොතේ පිටුවක් කියවන්ටයි තියෙන්නේ…. ඒක නිකම් කිරි කජු වැඩක් නෙව.
ඒත් කථනය තමයි හැමෝටම අවුල. ඔන්න අපේ සීදේවි කියනවා මෙන්න මෙහෙම:
“ළමයි, ඔන්න ලබන සතියේ කථනය පැවරුම් ගන්න තියෙනවා…. තමුන් කැමති මාතෘකාවකින් විනාඩි 5ක විතර කතාවක් සූදානම් කරන් එන්න“
ඔය වාක්‍ය නම් කියන්නේ හරිම ආදරෙන්. ඊලග වාක්‍ය නම් එහෙම නෑ…. ඒක භයංකාරයි
“ඔන්න මම නොකීවයි කියන්නෙපා… මම හිතුනු හිතුනු කෙනාව නැගිට්ටවන්නේ…. සුදානම් නැතිනම් නිදහසට කාරණා එපා….කලු තිත තමයි…. මගේ ලග වචන දෙකක් නෑ…..“
අනේ ඉතින් කොයිතරම් භයංකරව කීවත් සමනලී ඇතුලු සමනලීගේ යාලුවෝ කාණ්ඩෙට ඕක මතක් වෙන්නේම ඒ පැවරුම ගන්නව කීව දවසේ උදේටනේ…. ඒකත් පන්තිය ඇතුලට ගියාම!!!! බලන්ටකෝ ඉතින් ඒකෙත් හැටි….. මතක් උනාම නම් හීන් දාඩිය මහ දාඩිය දෙකම ඉහින් කනින් පෙරන්ට ගන්නවා…. හැබැයි ඒකත් ටික වෙලාවයි…. මොකද සීනුව වැදිලා එහෙම සීදේවි පන්තියට එන්ටත් කලින් බය වෙන්න නාස්ති කරන කාලේ අපරාදේ නෙව… ඕපාදුප කියවන්ට කොයිතරම් වැදගත් කාලයක්ද? ඕක බය වෙන්ට නාස්ති කරන්නේ මොකටද? 😀 😀
ඔන්න දැන් ආගම එහෙම සිහි කරලා පාසල පටන් ගන්න සීනුව වැදුනා. ඔන්න දැන් භය වෙන්න ඕනා…. සීදේවී ලගම එනවා ඇති ඔසරියත් ජැන්ඩියට ඇදන්…. දැන් ඉතින් මොකක්හරි උප්පරවැට්ටියක් දාන්ට එපැයි…..
පළමු පියවර තමයි කථනය දෙන්ට සුදානමින් ආපු හොද දරුවෝ ටික පන්තියේ ඉස්සරහින්ම වාඩි කරවන එක. දෙවන පියවර තමයි සූදානම් නොවී ආවත් මොකක් හරි අමුණාගෙන කථනය දෙන්ට පුලුවන් සූරියෝ ටික වෙන් කරගන්න එක…. තෙවන පියවර තමයි එදාට කථනය දෙන්ට කොහෙත්ම විදියක් නැති සූරියන්ගෙත් සූරියෝ ටික දෙනා පන්තිය පිටිපස්සේ ඩෙස්ක් යටට රිංගාගන්න එක….. ඒ පියවරින් පළමු අදියර අවසානයි.
ඔන්න අපේ සීදේවි ඇවිත් පන්තියට..
“ආයුබෝවන්“
“ආයුබෝවන් මිස්“
“හා…. අද කථනය ගන්න දවස නේද? කෝ බලන්න……“
අපේ සීදේවි ළමයි නැගිට්ටවන්නේ මුණූ බලලා නෙවී, නාම ලේඛනේ බලල නෙව. මොකද සීදේවිට අපේ නම් මතක හිටින්නේ නෑ…. වාසනාව….
“නයනි… පටන් ගන්න බලන්න“ ඔන්න දැන් නයනි කථනය දුන්නා…..
“ම් නරකම නෑ….. ලකුණු 7යි. ඊලගට කුමාරි කියන්න බලන්න…“
“බොහොම හොදයි, ලකුණු 9යි. දැන් අරුණි…….“
“අපොයි! මොනාද මේ කීවේ? හරිම දුර්වලයි… අනේ මන්දා ඔහොම නම් බෑ අරුණි…. ලකුණු 4යි!!….. ම්…. දැන්…. තාරුකා“
“කෝ ඇයි සද්ද නැත්තේ? තාරුකා…. කෝ තාරුකා අද නැද්ද? හා එහෙනම් ඊලගට රුවනි කියන්න බලන්න….
තාරුකා නෑ නේන්නම්… තාරුකා මේසේ යටනේ!!!! 😀 මේ තමයි දෙවන අදියර ක්‍රියාත්මක වන වේලාව…. ඒක ඉතින් ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දීලා තියෙන අදියරක්…. පළමුව මේසේ යටට වෙලා කෑම පෙට්ටි ටික දිග හැරීම… දෙවන පියවර සමනලී කියන්ට ඕනත් නෑනේ ඉතින්….. ටික වේලාවකින් හිස් කෑම පෙට්ටි ටික විතරයි ඉතුරු…… කෑමත් ඉවරයි මේසේ යටට වෙලා ඉන්ටත් කම්මැලියි… එතකොට ඉතින් ඒ ලගින්ම වාඩි වෙලා ඉන්න අයගේ සපත්තු ලේස් පටි, සුදු ගවුමේ බෙල්ට් පටි එහෙම මේස කකුල් වල එතෙනවා….. ගොතාපු කොණ්ඩ වල රිබන් පටි අනික් කොණ්ඩ වල ගැටගැහෙනවා, නැත්නම් ලෙහෙනවා…..
ඔය විදියට සීදේවි කියාපු නම් වලින් කිහිපදෙනෙක්ම නෑ…… අචිනි නෑ…. සමනලී නෑ…… හිරුනි නෑ…… පවිත්‍රා නෑ….
පීරියඩ් එක අවසාන වෙන්නත් ලගයි දැන්.
“ඉතිරි අයගේ සහ ආපු නැති අයගේ කථනය හෙට ගන්නම්…. කෝ නිශ්ශබ්ද වෙන්න නාම ලේඛනේ ලකුණු කරන්න……“
ඔන්න අවසාන අදියර…. මේසේ යටින් ටක් ගාලා උඩට ඇවිත් වාඩි වෙන එක….. නැත්නම් නමට ඉස්සරහින් බිංදුවක් වැටෙනවනේ නාම ලේඛනේ ඒකයි. ඒක තනියෙම කරන්ට බෑ… වාඩි වෙලා ඉන්න අයගේ උදවු ඕනා…. වැඩි වෙලා ගන්ටත් වැඩිය දගලන්ට සද්ද බද්ද දාන්ටත් බෑනේ…… සීදේවි දැක්කොත්???
අශානි….. ඉන්නවා
පූර්ණිමා…… ඉන්නවා
වරුණි…… ඉන්නවා
සමනලී…… ඉන්නවා
“ඈ….. සමනලී හිටියද?“ “ඔව් මිස් හිටියා….“
“දැන් මම කථනය ගනිද්දිත්?“ “ඔව් ඔව් මිස් හිටියා…..“
“මට මතක හිටියේ නෑ වගේනේ, මම නම කීවද?“ “ඒකනේ මම ලෑස්ති වෙලා ඇවිල්ලත් මිස් මගේ නම කීවේ නෑනේ…කීවේ නෑ මිස්“ “ ම්….. අනේ මන්දා මට මතක නිකම් කීව වගෙයි…. හා කමක් නෑ හෙට කියමුකෝ දරුවෝ….“
යාන්තම් බේරුනා…… මේසේ යට උන්න අනිත් යාලුවොත් මේ විදියටම උත්තර බැදලා ෂේප් උනා….. ඔය වගේ තමයි ඉතින් හැමදාම…. කථනය දෙන්ට සුදානම් නැති අය මේසේ යට පිහිට පතාගෙන ඉන්නවා. අපේ සීදේවි මිස් හොල්මන් වෙලා වගේ අන්තිමේ…… අපරාදේ කියන්ට බෑ අපේ සීදේවිට අඩු මතකයක් තිබ්බ නිසා ඒ වැඩේ පහසු උනා.
ඔය විදියට පුරා වසරක් අපි සතුටින් සහයෝගයෙන් මේසේ යටට ගිහින් බේරුනා…..
දෙවන වසරේ, ඒ කියන්නේ සමනලී සාමාන්‍ය පෙල ලියාපු වසරේදිත් සුපුරුදු පරිදි දවසක අපේ සීදේවි කථනය පැවරුම ගන්නවා…. එදා නම් සමනලී මේසේ යට නෙවී…. ඒත් සමනලීගේ යාලුවෝ තුන් දෙනෙක් මේස යට…. වෙනද වගේම පීරියඩ් එක ඉවරවෙන්ට ලගයි. වැඩිම උනොතින් තව දෙන්නෙකුගෙන් වගේ කථන පැවරුම ගනීවි. මේසේ යට උන්න ඈයොත් උඩට ඇදෙන්න සූදානමින් ඉන්නේ…..
සීදේවිත් නාම ලේඛනේ දිහා අර බෝතල් අඩි දෙකක් වාගේ තියෙන විසාල ඇස් කණ්නාඩිය අස්සෙන් බලාගෙන මෙන්න මෙහෙම කියපි….
“ම්….. කවුද ඊලගට…..??? හොදයි ඊලගට කථනය දෙන්න ඔය දකුණු කෙලවරේ මේසේ යට ඉන්න ළමයා……..!!!!!!!!“
අනේ විපතක මහත!!! ඒ ළමයත් නිකම් හුඹහෙන් ඇදෙන නාගයෙක් වගේ මේසේ යට ඉදන් උඩට ඇදිලා ආවා…. කථනය…. මොන කථනයද? වෙනදට හොල්මන් වෙන්නේ සීදේවිනේ ඒත් අද…..
“කථනය ඉතාම දුර්වලයි!! මේසේ යට ඉදන්වත් ලෑස්ති උනේ නැද්ද? හ්ම්…. හෙට ලෑස්ති වෙලා එන්න ඕනා“
හෙහ් කථනය දුර්වලයි නේනනම්… ඒ ළමයා කීවේ “මිස් මම ම්….. මේ මම මේ…. මිස් මේකයි උනේ….. අනේ මිස් මේ….. මම මේ……..“ ඔය ටික තමයි කථනය…. 😀
දැන් ඉතින් සීනුව වදින්ටත් ලගයි. පන්තියේ එහා කොණේ අනිත් දෙන්නත් මේසේ යටට වෙලා ෂේප් එකේ බලන් ඉන්නවා හොද වෙලාවට එයාලව දැක්කේ නෑ…..
අපේ සීදේවි නාම ලේඛනේ අතට ගත්තා. බෝතල් අඩි කණ්නාඩි දෙකට උඩින් අපි දිහා බැලුවා….
“හා හරි හරි නිශ්ශබ්ද වෙන්න නාම ලේඛනේ ලකුනු කරන්න… කෝ ඔය මේස යට ඉන්න අනික් දෙන්නත් මට නම් දෙක කීවා නම්? ඉස්කෝලේ ඇවිදිනුත් බිංදුව වැටෙන්න ඕනැයැ නේද? ඒ දෙන්නගේ කථනය හෙට ගන්නම්කෝ….. හැබැයි ඔන්න හෙට ලෑස්ති වෙලා ඇවිත් පුටුවේ ඉන්න ඕනා…“
අනේ ඉතින් එදායින් පස්සේ මේසේ යට පිහිට නැතිව ගියා……
හි හී මරු කථාව 😀
හිකිස් ….. 😀
හප්පොච්චියේ, මෙහෙමත් හොර සමනල්ලු රෑනක්!!! 😀 😀 😀
අනේ හොර නෑ අනේ…. අපි හරිම හොද ළමයි…. කථනය සහ අර කේන්ද්‍රීය ක්‍රමයේ පැවරුම් නෙව වැරදි???? 🙂
ඕක ඩිංගක් පාඩම් කරගෙන ගියානම් ඉවරයිනේ, අපේ ඉස්කෝලෙනම් පිරිමි පාසැලක් අනේ අපරාදෙ කියන්න බෑ ඔහොම වැඩක් කරල අහු උනානම්, නැවු ගුටි තමයි ලැබෙන්නෙ. හොඳා හොඳා.
අම්මෝ ගුටි නම් ලැබෙන්නේ නැතෝ…… අනේ ඒකනේ කියන්නේ, පාඩම් කරන්ට ඕක ගෙදරදි මතක් වෙන්නේ නෑ නෙව???? 🙂
ඔහොම කතාවක් ඇහුවමයි ඔය. මෙහෙම කෙල්ලොත් ඉන්නවනේ…. 😀
ඒ කියන්නේ මිස් කලින් ඉඳල දැනගෙන ඉඳලද එහෙම නැත්නම් එදා කනාවට වගේ දැකලද??
අනේ මන්දා අපිටත් හිතාගන්න බෑ….. බොහොම ඉක්මනින් කේන්ති යන අපේ සීදේවිට එදා කේන්ති ගියෙත් නෑනේ????
හොද වෙලාවට මිස් දැක්කෙ සමනලියන්ගෙ හොර වැඩ………. නැත්නම් ඉතින් අද???
ඒක නෙවෙයි… ඇත්තටම සමනළි එදා ඩෙස් එක යට නෙවෙයිද හිටියෙ?
නෑ නෑ සමනලී ඩෙස්ක් එක යට ඉදලා තියෙන්නේ 2-3 සැරයක් විතරයි….. 🙂 මොනා උනත් කථන හැකියාව අවශ්‍ය දෙයක්….. අපේ සීදේවි මහන්සි උනේ ඒක අපිට ලබාදෙන්න….
සමනළිගෙ වචන හැකියාව මෙහෙමනම් කතන හැකියාව පෙන්වනකොට නම් කතුර වගේ ඇති මයෙ හිතේ, කතනහැකියව සීදෙවි දුන්න වගෙ වචන හැකියව දුන්නෙ කවුද දන්නෑ හබෑටම…………
(මේ ජරමර අස්සෙ සමනළිගෙ අවසන් වසර ව්‍යාපෟතියත් සාර්තකව ඉවර කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා)
ම්….. කතන හැකියාව නම් උපතින්ම දෙවියෝ දුන්න එකක් වෙන්ට ඕනා….. මොකද පවුලේ කවුරුවත් නෑ නෙව මෙහෙම හුස්මක් කටක් නොගෙන කියවන!!!!
ගොඩක් ස්තූතියි සනත් ඒ ප්‍රාර්ථනාවට… 🙂
ප්‍රශ්නයක්!
සමනලීගෙ කථන හැකියාවෙ තව දියුණු කරන්න දෙයක් තියෙනවද??
ම් නොන් ස්ටොප් කථන හැකියාවක් තියෙන්නේ…. හැබෑටම ඒකේ දියුණු කරන්න දෙයක් නෑ තමයි…. හිකිස්….. ඕන්න අයිතිකාරයා නම් දන්නව ඒකේ තරම!!!
මරු කතාව. අපේ ඉස්කෝලෙ මිශ්‍ර එකක් ඒක හින්දා ඔය වගෙ වැඩක් කරගන්න හරි අමාරුයි.
හා හා ඒකත් ඇත්ත…… හිකිස් හිකිස්…. 😀 😀
ඔය ගුරුවරුන්ට වංචා කරල රවට්ටපු එකට තමා බස් එකෙන් වැටිල අඬු කැඩිල විශ්වවිද්‍යාලෙ වැඩ ගොඩ ගැහිල ජරමර ගොඩක් සිද්ධ වුනේ . දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නෙ ඕවට තමා.
මගේ අප්පේ…. එක අතකට ඒකත් ඇත්ත තමයි :O ඔන්න සමනලීට බයත් හිතුනා….. හැබෑටමයි මේ කියන්නේ….
මරු සින් එක… අපිත් මිශ්‍ර ස්කොල හන්දා බැනේ ඔවා..වෙන ක්‍රම නම් අත්හදා බැලුවා
මොනාද අප්පේ ඒ වෙනත් ක්‍රම?????
හෙර සමනලී
ඉකේයියා…. එහෙමත් කියනවද හොද සමනලීට??? 😀 😀
කෙල්ලෝ චාටර්ය
අනේ….. ඒකත් එහෙමද???
අපෝ කථනයට ඔච්චර බයද? හිකිස් කෙල්ලොනේ, nice
චැට් බොක්ස් වාගේ කියවන්න නම් බය නෑ ඒත් ඔය බරසාර කථනය තමයි ඕං වැඩේ???? 🙂
chat box wage kiyawala wadak na, ieta wada hondai kiyawan nathuwa inna eka 😛
😀 😀
අප්පොච්චියේ වස ලැජ්ජාව නේද. දැනුත් ඉස්සර වගේ මේසෙ යට හැංගෙනවද?
නෑ නෑ….. දැන් මේසේ යට හැංගෙන්නේ නෑ….. හිකිස්…. 😀
සමනළී අක්කත් අපි වගේ එක්කෙනෙක් නෙව..
හී හී…. ඔයාලත් එහෙමද?? 🙂