ඉවුම් පිහුම් කතා….
දැන් කාලේ ගෑණු ළමයි උයන්න දන්නේ නැති එකගැන අපේ ආත්තම්මලා එහෙම හරිම විස්සෝපෙන් ඉන්නේ. ලගදි දවසක තරුණ වයසේ ගෑණු ළමෙක් එයාගේ ගමේ ඉදන් එක්කන් ආපු ආත්තම්මා එක්ක ඔය සුපිරි වෙලද සැලකට ගොඩ උනා. කෙලවරක රාක්කයක් පුරෝලා තියෙන එළවලු කන්දරාව දිහා ආත්තම්මා විමසිල්ලෙන් බලා ඉදලා මහා හයියෙන් මිණිබිරියට මෙන්න මෙහෙම කියාපි:
“ඒකයැ දුවේ, මම දැනුයි දන්නේ දුව හරියකට එළෝලුවක් තෝරගන්ට ඒක හරිහමන් විදියට සුද්ද කොරල කපාගන්ට දන්නේ නැති වෙන්ට කාරණාව… මේ විදියට එළෝලු සුද්ද කොරලා කපලා කොටලම පැකට් ගහල විකුණන එක තමයි දැන් කාලේ ගෑණු ළමයින්ට හෙනේට හිටින්නේ ඕං….”
-=-=-=-=-=-=-=-
ඉවුම් පිහුම් කලාවත් තාක්ෂණේ එක්කම අලුත් වෙවී යනව නෙව. ඒත් තාක්ෂණේ හරියට දන්නේ නැති උනාම ඇබැද්දි තමයි ඉතින්. මේ සිද්ධිය උනේ ලංකාවට ගෑස් කුකර් ආපු අලුතම. පිටරට සේවය කරලා නිවාඩුවට ලංකාවට ආපු තරුණයෙක් ගෑස් කුකර් එකකුත් අරන් ආවා. දැන් ඕක ගෙදර ගෙනත් කොටස් ටික පිලිවෙලට හයි කරලා එහෙම තමුන්ගේ ප්‍රිය බිරිදට කතා කරලා කියා දුන්නා ඒක ඔන් කරන හැටියි ඕෆ් කරන හැටියි.
“මේක හරිම ලේසියි දර ලිප වගේ කරදර නෑ. ඔන්න බලන්ට මෙහෙම පත්තු කලා ආයේ මෙහෙම නිව්වා… වෙන මුකුත් නෑ එච්චරමයි කරන්ට තියෙන්නේ…“
ඒ අස්සේ යාලුවෙකුත් ගෙදරට ගොඩවෙච්චි මේ තරුණයට එයා එක්ක පොඩි ගමනක් යන්ට සිද්ධ උනා.
අලුත ගෙනා ගෑස් ලිපෙන් උයන්ට දැන් මේ ගෙදර නැන්දම්මයි ලේලියි ඒ කිව්වේ තරුණයගේ අම්මයි බිරිදයි පුල පුලා බලා සිටි අවස්ථාව උදා උනා. රෑට කන්ට පරිප්පු හොද්දක් හදන්ටයි දැන් ලෑස්තිය. පරිප්පු ටික සෝදලා ගරලා, ඕනා කරන කලමනාකාරිය දාලා දිය කිරි ටිකත් දාලා තැම්බෙන්ට කියලා නමෝ විත්තියෙන් තිබ්බා ගෑස් ලිපේ. විනාඩි 5ක් 6ක් යද්දි කිරිටික හිදිලා ගියා. පරිප්පු තැම්බෙන්ට හිතලවත් නැහැ. “අනේ අම්මේ කිරි දැම්මා මදිද කොහේද?” ලේලි එහෙම කිව්ව පරක්කුවට නැන්දම්මා පොල් ගාලා අලුතින් කිරි මිරිකලා දුන්නා. ඒත් ආයේ බලද්දි කිරි ටික හිදිලා.
“අනේ මන්දා මේවයේ උයන්ට කිරි ගොඩාක් ඕනා වගෙයි. දුවේ ඕකේ ගින්දර අඩුකරන්ට එහෙම බැරිය?”
“ම්… ඒක තමයි අම්මේ. එයා පෙන්නුවේ නම් මේක පත්තු කරන්ටයි නිවන්ටයි විතරයිනේ. අඩුවැඩි කරන්ට බෑ මයෙහිතේ”
දැන් ඔන්න එහෙම කිය කිය නැන්දම්මයි ලේලියි පොල් ගානවා, කිරි මිරිකනවා, ඇතිලියට දානවා, ඒ ටික සුටුස් ගාලා හිදෙනවා. ආයෙත් පොල් ගානවා, කිරි මිරිකනවා, ඇතිලියට දානවා,හිදෙනවා….. නියම ඉවිල්ල… පැයකටත් එහා මේ දෙන්න කුස්සියේ ඉදන් මේ යුද්දේ කරන අතරේ අර තරුණයා ආයේ ගෙදරත් ආපි. අනේ එතකොට තමයි දැනගත්තේ ගෑස්ලිපේ ගින්දරත් අඩුවැඩි කරන්ට පුලුවන් බව……
-=-=-=-=-=-=-=-
මේක නම් සිද්ධ වෙලා තිබුනේ සමනලීගේම නැන්දල දෙන්නෙකුට. ඔන්න පොඩි නැන්දගේ මහත්තයා එයාලා බැදපු අලුත ගෙනැත් දුන්නා ගෑස් අවන් එකක්. දැන් ඉතින් ලොකු නැන්දටයි පොඩි නැන්දටයි ඉවසිල්ලක් නැහැ මේකෙන් කේක් ගෙඩියක් හදල බලන්ට. ටවුමට ගිය වෙලාවේ අඩුම කුඩුම ටික අරන් ආවා. ඒකත් ඔය සුපශාස්ත්‍ර පොතක තිබ්බ එකක මතකෙන්.
දැන් ඒ පොතත් පෙරළගෙන දෙන්න එක්ක වැඩේ පටන් ගත්තා. තෙල් කඩදාසි එලපු තැටිය පැත්තකින් තිබ්බා. පිටි ග්‍රෑම් “250 යි සීනී ග්‍රෑම් 250යි ….” අප්පච්චියේ පෙරුම් පුරාගෙන කේක් හදන්ට ගියාට මොකද මේවා කිරන්ට තරාදියක් හෙම ගෙදර නෑ කියලා මතක් උනේ එතකොටයි. දැන් මක්කරන්ටද…. මේ තරම් ආසාවෙන් හදන්ට ගත්තු එක නවත්තන්න දුකයි. ඒත් ලොකු නැන්දට මතක් උනා ලේසි ක්‍රමයක්.
“ආ…. දෙකෙන්ම එක සමාන ප්‍රමාණනේ ගන්න ඕනි. අපි මේ එකම කෝප්පෙන් දෙකම මැනල ගමු”. ඔන්න ඕකයි විසදුම.
දැන් ඉතින් දෙන්නා එක්ක ඒ ක්‍රමේට මැනල පිටි සීනි බටර් බිත්තර දාලා, ඒවා බීට් කරලා අනලා වනලා අන්තිමට තැටියට වත්කලා. පොතේ හැටියට අවන් එකත් රත්කරලා කේක් තැටිය ඒක ඇතුලට වඩම්මලා දැන් දෙන්න එක්ක ඔරලෝසුවේ කටු ගැන ගැන ඉන්නවා උණු උණු කේක් කන්ට.
වෙලාව හරිගිය ගමන් කේක් තැටිය ගත්තා එලියට. ටිකක් නිවෙන්ට අරින්ට ඕනි නිසා ඒකටත් තිබ්බා. දැන් ඉතින් පිහිය අරන් කේක් කපන්ටයි ලෑස්තිය. ඉතින් කපනවා කපනවා කපලා කෙලවරක් කරගන්ට බෑ…. “නංගි ඔයා ඒ කෑල්ල ඇදලා ගන්න බලන්ට…. ” ඉතින් පොඩි නැන්දත් කේක් කෑල්ල අදිනවා අදිනවා දිගටම ඇදෙනවා මිසක් ඒක වෙන් වෙන්නෙත් නෑ.
හත්වලාමේ මේ මක්කැයි උනේ කියලා හිතල බලද්දි තමයි දෙන්නට වැඩේ තේරුණේ. සීනියි පිටියි සම සමව ගන්න සීනි කෝප්පයයි පිටි කෝප්පයයි එකම කෝප්පෙන් මැනල දැම්මට මොකෝ මේ දෙකේ ස්ක්න්ධයයි පරිමාවයි කියන්නේ දෙකක් බව දෙන්නටම අමතක වෙලා! සමාන පරිමා මිසක් සමාන බර යෙදිලා නෑ, ඉතින් කේක් එකට සීනි මහ ගොඩක් එකතු උනා.. ඒ සීනි උණු වෙවී හැදුනු කේක් ගෙඩිය කැපුවාම නූල වගේ ඇදෙනවා මිසක් කැපෙන්නේ නෑ….
කේක් එක ආස්ක් මී (Ask me) වගේ තියෙන්න ඇති…
අනේද කියන්නේ…. ටික වෙලාවක් ගියාට පස්සේ බුල්ටෝ වගේ උනාලු
(ඕං යන්තං ෆේස්බුක් ආධාරයෙන් ලොග් වුනා…. 😉 )
දැන් ඔයාට පුලුවන්ද උයන්න? 😀
අපොයි පුලුවනි පුලුවනි… 😀
ඇත්තටම සළමනී ට උයන්න පුළුවන්ද? පව් නැත්නම් අර සමනළය..මේ බයි ද වේ..සමනළය එහෙම කොහොමද දැන්?
පුලුවනි පුලුවනි… සමනලී උයන කෑම එයාට කන්ට පුලුවනි. එයා සමනලයා නෙවී අනේ, එයා අයිතිකාරයා 🙂 සමනලීගේ අයිතිකාරයා හොදින් ඉන්නවා…
කෝ කලින් පෝස්ටුවේ අපේ කමෙන්ට් වලට උත්තර
අපව අමතකත් වෙලාද මන්ද 😦
අනේ එහෙම අමතක වෙන්නේ නෑ අයියේ.. කලින් පෝස්ටුවේ මොකක් නමුත් අවුලක් වෙලා ඒකට යන්න දෙන්නේ නෑ මගේ වෙබ් බ්‍රවුසරේ 😦 ඒ අවුල ලිහා ගත්තාම සමනලී ඒකට පිලිතුරු සපයනවා හොදේ? 🙂
“උ”යන්න පුලුවන්ද උයන්න පුලුවන්ද 🙂
හී හී… දෙකම පුලුවනි 🙂