අන්තර්ගතයට පනින්න

සමනලී ඇසූ කතාවක්.....

වෛරයෙන් හා ඊරිසියාවෙන් පෙලීම බොහොමත් භයානකය.... එයින් තමාම විනාශ වන බව තමාටවත් නොදැනීම එහි විනාශකාරී ස්වභාවය වැඩි කරයි

ටෙලිෆෝනයේ රස කතා…..

2011 පෙබරවාරි 22

අපේ හසිත යාලුවගේ “හෙලෝ……. තාත්තාගේ කතා“ පෝස්ට් එක දැකලයි සමනලීට මේ කතාව මතක් උනේ ඕං…..

සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවොත් ඒකට පිළිතුරු දෙන්නේ සමනලීගේ තාත්තා තමයි. මොන වැඩක නිරත වෙලා උන්නත් තාත්තා අතපය පිහිදගෙන දුවගෙන එනවා ටෙලිෆෝනය නද දෙද්දී. ඉතින් සමනලීත් අම්මාත් දෙන්නම ඕක නද දුන්නට ඒ දිහා බලන්නේවත් නෑ… ඇයි තාත්තා ඉන්නවනේ…. තාත්තා නැති වෙලාවට ඉතින් කරදරේ තමයි. ගෙදර තියෙන ඔය ක්‍රමය නිසාම සමනලී වගේම අම්මාත් ටෙලිෆෝන් කෝල් වලට දුවන් එන්න හරිම කම්මැලියි.

තාත්තා රිසිවරේ ගත්තාම තමයි අහන් ඉන්න ආසා…. දන්න අදුරන කෙනෙක් නම් අවුලක් නෑ ඒත් වෙන පණිවිඩේකට නොදන්නා කෙනෙක් සමනලීට හරි සමනලීගේ අම්මාට හරි කතා කලොත් එයාට පණිවිඩේ කියන්න කලින් තාත්තාගේ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දෙන්න වෙනවා……

“කවුද නම කීවේ?“

“කොහෙන්ද?“

“මොකටද කතා කරන්නේ?“

“ආ… පණිවිඩේකටද? ම්…. මට කියන්නකෝ මම එයාට කියන්නම්…..“

ඔන්න ඔහොම සෑහෙන ඒවට උත්තර දීලා තමයි ඒ කෙනාට අපිට කතා කරන්න වෙන්නේ…

ඉතින් ඔන්න සමනලී ඉස්කෝලේ යන කාලේ දවසක් සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් බොහොම හදිසි වැඩකට රාත්තිරියේ සමනලීට කෝල් එකක් දුන්නා. ඒ ළමයත් සමනලිගේ ගෙදර දුරකතන අංකය බොහොම අමාරුවෙන් හොයාගෙන තමයි කතා කලේ. එයා සමනලීගේ පංතියේ නෙවී ඉතින් තාත්තා ඒ ළමයා ගැන වැඩිය දන්නෙත් නෑ. ඔන්න දැන් ටෙලිෆෝනය නාද වෙනවා…..

ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං……

තාත්තා:   හලෝ

යාලුවා:   අන්කල් සමනලී ඉන්නවද?

තාත්තා:   කවුද මේ කතා කරන්නේ?

යාලුවා:   මම මේ එයාගේ යාලුවෙක් අන්කල්

තාත්තා:  කොහේ යාලුවෙක්ද?

යාලුවා:   මම එයාගේ ඉස්කෝලේ යාලුවෙක් අන්කල්

තාත්තා:  මොකද්ද ඔය ළමයගේ නම?

යාලුවා:   අන්කල් මම අශානි

තාත්තා:  අශානි….. ඔයා එයාගේ පන්තියේද?

යාලුවා:  නෑ නෑ අන්කල් මම එයාගේ අල්ලපු පන්තියේ….. අන්කල් එයා ඉන්නවද?

තාත්තා:  කොහෙන්ද මේ ළමයා කතා කරන්නේ?

යාලුවා:  මම මේ ගෙදර ඉදන් කතා කරන්නේ අන්කල්

තාත්තා:  කොහේද ගෙවල්?

යාලුවා:  අපේ ගෙවල්ද අන්කල්? මොරටුවේ…

තාත්තා: හරි හරි…. මොකද්ද පණිවිඩේ?

යාලුවා:  අන්කල් එයා ගෙදර නැද්ද?

තාත්තා:  නෑ නෑ ඉන්නව…. මට කියන්නකෝ ඔය පණිවිඩේ….. ආ….. පොඩ්ඩක් ඉන්න……දුව මෙන්න කෝල් එකක්……

ඔන්න තාත්තාගේ කඩඉම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීලා, තාත්තටත් පණිවිඩේ කියල එහෙම යාන්තම් ඒ යාලුවට පුලුවන් උනා සමනලීගේ කටහඩ අහන්න…….

ඒ  යාලුවටම ඊට මාසෙකට විතර පස්සේ ආයේ සමනලීට හදිසි වැඩකට කතා කරන්න ඕනා උනා….. ඔන්න එදාත් තාත්තා තමයි මුලින්ම කතා කලේ…. ඒත් මෙන්න බොලේ එදා හලෝ කීවා විතරයි තාත්තා වැඩි ප්‍රශ්න කිරීමක් නැතිවම සමනලීට කෝල් එක දුන්නා!!!!! පස්සේ දවසක ඒ යාලුවා තමයි සමනලීට කීවේ එදා කෝල් එකේදි වෙච්චි දේ…… මෙන්න මෙහෙමලු උනේ….

තාත්තා: හෙලෝ

යාලුවා: හෙලෝ අන්කල් මම මේ අශානි කතා කරන්නේ. අපේ ගෙදරින් මේ කෝල් එක ගත්තේ…. ආ මේ අපේ ගෙවල් මොරටුවේ තියෙන්නේ… මම සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් හැබැයි එයාගේ පන්තියේ නෙවී එයාගේ අල්ලපු පන්තියේ….. මම මේ කතා කලේ එයාට පණිවිඩයක් දෙන්න….. අන්කල් මෙන්න මේකයි පණිවිඩේ, ……… ……….. …….. .. ………………………….. …… ………………………………   ………………………….. අන්කල් සමනලී ඉන්නවද? ආහ් අන්කල් තව මුකුත් දැනගන්න තියේ නම් අහන්නකෝ…. !!!!!!!!

එදායින් පස්සේ සමනලීගේ තාත්තා සමනලීගේ යාලුවෝ කතා කලාම වැඩි ප්‍රශ්න කිරීම් නැතිවම සමනලීට ෆෝන් එක දෙනවා.

 

හෝව් හෝව්……………………….

හී හී…. දැන් කට්ටිය හිතුවද තාත්තාගේ ප්‍රශ්න කිරීම සදහටම නැති උනා කියලා???? අපෝ නෑ…. ඒක පොඩ්ඩක් ප්‍රති සංවිධානය උන එකයි සිද්ධ උනේ…. එදා ඉදන් සමනලී කෝල් එකක් කතා කරලා තියපු ගමන්…..

කවුද ඒ කතා කලේ?

කොහේ කෙනෙක්ද?

ක්ලාස්  එකේ? කොයි ක්ලාස් එකේද?

කොහේද ඉස්කෝලේ? (මෙය අදාල වන්නේ ටියුෂන් පංතියක යාලුවෙක් කතා කල විටදීය)

කොහෙද ඒ ළමයා ඉන්නේ?

ඇයි දැන් එයා කතා කලේ?

මොකද්ද පණිවිඩේ?

ඇයි ඒ?….. මොකද ඒ?……. ඉතින්?……. වෙන?………….

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertisement

සමනලී ඔබ හමුවී වසරක් සපිරෙයි…..

2011 පෙබරවාරි 16

ඉස්සර කාලෙක මේ සිරි ලංකාවෙ උන්නා එකමත් එක ගෑණු ළමයෙක්. එයාගේ යාලුවෙකුට තිබුනා අපුරු සිංහල බ්ලොග් එකක්. ඒ බ්ලොග් එක බලන්න ගිය සමනලී නතර උනේ “සිංහල බ්ලොග් කියවනය“ කියන අපුරු ලෝකයේ පාඨකයෙක් වෙලයි. ඔන්න ඉතින් සමනලී පුලුවන් හැම වෙලාවෙම ඒකේ පල වෙන අපුරු නිර්මාණ, ජීවිත අත්දැකීම්, දැනුම ඇතුලු එකී මෙකී නොයෙකුත් දේ කියවලා රස විදලා ජීවිතයට යමක් එකතු කරගත්තා.

ටිකක් කල් ගත වෙද්දි ඒ සමනලීට ආසාවක් පහල උනා සමනලීගේම බ්ලොග් එකක් පටන් ගන්න. අනේ ඉතින් ආසා උනාට එයා දන්නේ නෑනේ කොහොමද මේක කරන්නේ කියලා….. අනිත් බ්ලොග් දිහා බලලා බලලා යන්තම් ඒවයේ පිලිවෙල ගලපාගෙන හරියන්න හෝ වරදින්න හෝ කියලා සමනලීත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා… ඒකට දාන නම මොකක්ද කියලා කල්පනා කරද්දි සමනලීගේ අයිතිකාරයා සමනලීට ආදරේට කියන මේ සමනලි කියන නමින්ම මේක පටන් ගන්න එයාට හිතුනා. හරියටම මීට අවුරුද්දකට කලින් සමනලීට හිතෙන හැටි සිංහල බ්ලොග් කියවන හැමෝම එක්ක බෙදාහදා ගන්න පටන් ගත්තේ හරිම ආසාවෙන්. දහසකුත් එකක් සිංහල බ්ලොග් අතරේ සමනලීගේ මේ පුංචිම පුංචි ඉසව්ව කාගෙවත් ඇසට පෙනේවිද? ඇවිත් බලල යන්නවත් හිතේවිද? සමනලී ලියන සමනලීගේ සිතැගි ඔයාලට කියවන්න තරම් හිතෙයිද? ඒවා නීරසද? වගේ හිතේ ප්‍රශ්න ගොඩාරියක් පිරිලා තිබුනා. කමක් නෑ උත්සාහ කරමුකෝ කියලයි සමනලී එදා හිතුවේ…

අනේ ඒත් සමනලී නොහිතපු විදියට ඔයාලා සමනලීව සාදරයෙන් පිලිගත්තා. සමනලීගේ සිතැගි බලලා යන්න ආවා, ප්‍රතිචාර දැක්වූවා… පුරා වසරක් තිස්සේ හෙමින් හෙමින් පුංචි පුංචි නිර්මාණ එක එක සමනලීගේ ඉසව්වේ ගෙත්තම් කලා. අධ්‍යාපන වැඩකටයුතු එක්ක හරිම හෙමින් ආපු ගමනක් මේක. පෝස්ට් 42 ක් එක්ක ඒ වෙනුවෙන් ලැබුනු ප්‍රතිචාර 1050 ක් එක්ක සමනලී සිංහල බ්ලොග්කරණයේ පළමු උපන් දිනය අහිංසක සතුටකින් අද සමරනවා….

ලියන්න පටන් අරන් ටික දවසකින් සමනලීගේ අර කීව යාලුවාටත් සමනලී කීවා “ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් ලියනවා“ කියලා. ඒ යාලුවත් සමනලීට නොදන්න දේවල් කියාදීලා මේ ගමනට හයියක් උනා…. එයාට ගොඩාක් ස්තූතියි. එයා නිසයි සමනලීත් සිංහල බ්ලොග් ලියන්නියක් උනේ…. සමනලී දන්නවා මේක දකිද්දි එයාටත් සතුටුයි කියලා ගොඩක්…

සමනලීගේ ආදරණීය අයිතිකාරයා….. සමනලීගේ හොදම පාඨකයා එයයි…. සමනලී වැඩියෙන් ලියලා තියෙන්නේත් ඒ අයිතිකාරයාගේ ආදරය ගැනයි… අයිතිකාරයා හැමදාමත් සමනලීට මේ ගමන එන්න ලොකු හයියක් උනා….

මේ පටන් ගත්තු ගමනට ඔයාලා හැමෝම ශක්තියක් උනා.. සමනලීට සාමාජිකත්වය ලබාදෙමින් සමනලීගේ සිතැගි බෙදාහරින්නට උදවු වෙන “සිංහල බ්ලොග් කියවනය“ වගේම “ලාංකීය සිතුවිලි“ අඩවි වලටත්, සමනලීගේ අඩවියේ එකම එක පුංචිම පුංචි ප්‍රතිචාරයක් දැක්වූ හෝ ප්‍රතිචාරයක් නොදැක්වුවත් අඩුගනනේ බලලා යන්නවත් ආපු හැමෝටමත් සමනලී හදවතින්ම ස්තූති කරනවා..

කොහොමඋනත් සමනලී තාම පොඩියි නෙව… තාම ඉතින් අවුරුද්දයි….. තව ඉගෙනගන්න දේවල් ගොඩාරියක් තියෙනවා…. ලිවීමේ කලාවට සමනලී තාම ආධුනිකයි. ඒ දේවල් වලින් හෙමින් හෙමින් පරිපූර්ණ වෙමින් සමනලීට පුලුවන් තරම් කාලයක් සමනලීගේ සිතුවිලි හැමෝම එක්ක බෙදාහදා ගන්න, සමනලීට හිතෙන හැටි ඔයාලටත් කියන්න සමනලී ඉදිරියටත් මේ සිංහල බ්ලොග් අවකාශයේ පියාසලන්නයි සූදානම……

උපන් දිනය සමරන්න ආවාට ස්තූතියි…. ටිකක් වාඩි වෙලා සමනලීගේ ඉසව්වේ හැඩ බලලා එහෙම පොඩි කේක් කෑල්ලකුත් කාලම යන්න යාලුවනේ…

ආදරයේ සැබෑ අරුත දැනෙන සොදුරු වැලන්ටයින් දිනයක්….

2011 පෙබරවාරි 13


මුලු වසරටම එක් දිනක

පුරවා රතු රෝස මල් දසත

ගලපා සුබ පැතුම් පත් තුල

බෙදනා අරුත් සුන් ආදරය මැද

සැමදා මා ලගින් හිද

පුරවා මල් සුවද මගේ දිවියට

පබැදු ගීය විය ජීවන ගමන

ඔබේ සුන්දර සෙනෙහ‍ස……..

සරසා නේක හැඩවැඩ කොට

රදවා බොලද වදන් පෙල‍

කාසි බලයෙන් ආලය පෙන්වන

අරුමෝසම් හිස් තෑගි මැද

රුවට නොව මා හදට පෙම් බැද

ඔවා දී දිවි අරුත පෙන්වන

දිවියේ මා ලද සොදුරු ත්‍යාගය

නුඹයි මා ලද වටිනාම වස්තුව……

 

තවත් වැලන්ටයින් දිනයක් ඇවිත්. වෙනදා වගේම මේ සැරෙත් ආදරවන්තයෝ ඒ දිනය රතු රෝස මල්, චොකලට්, සුබපැතුම් පත් සහ තෑගි වලින් සමරන්න මහා ඉහලින් සූදානම් වෙනවා. ඇත්තටම මේ දිනය අපි සමරන්නේ ඇයි?

බොහෝ දෙනෙකුගේ මතය නම් “ආදරේ සමරන්න වෙනම දවසක් අවශ්‍ය නෑ“,   “ඇයි අනික් දවසට ආදරේ නැද්ද?“, “අපේ ආච්චිලා සීයලා ආදරේ කලේ ඔය විකාර නැතිව..“   වගේ දේවල්. සමනලී නම් මේ දිනය දකින්නේ මෙන්න මේ විදියටයි….

ආදරේ කියන දේ එක දවසකට සීමා වෙන්නේ නෑ තමයි. ඇත්ත ආදරේ හැම මොහොතෙම අපි ලගින්ම ඉන්නවා. ලෝකේ පුරා මේ දිනය නොයෙකුත් විශේෂ ආකාරයට සමරන නිසාම අපිත් ඒ විදියටම ඒක සමරන්න ඕනා නෑ. අපිට පුලුවනි වැලන්ටයින් දිනයට හොද අරුතක් දීලා ඒක වටිනා විදියට, අපේ විදියට සමරන්න.

ඒ දවස වෙන්වෙන්න ඕනා දෙදෙනෙක් අතර තියෙන ආදරේ ගැන වෙනමම විශේෂයෙන් හිතලා බලන්න. ඉස්පාසුවක් නැතිව යන්ත්‍ර වාගේ දුවන අද කාලේ ඒ දවසෙදි මොහොතක් හිතලා බලන්න…. ඉස්ඉස්සෙල්ලාම ආදරෙන් බැදුනු කාලේ තිබුනු නැවුම් ගතිය තාමත් ඒ දෙන්න ලග තියෙනවද? ඒ කාලේ ආදරේ වෙනුවෙන් දුන්න පොරොන්දු, දෙන්නම එකතු වෙලා පතාපු අනාගතය… ඒවායින් කීයක් මේ වෙද්දි සම්පූර්ණ වෙලාද? යමක් සම්පූර්ණ වෙලා නැත්නම් ඒ ඇයි? කොහොමද ඒක හරිගස්සන්නේ? ගෙවුනු අවුරුද්ද පුරාවට දෙන්නගේ ආදරේ කොයිතරම් ලස්සනට එකිනෙකාගේ ජීවිත හැඩ කලාද? හිත් රිදීමක් අතපසු වීමක් උනා නම් ඒ ගැන ආයේ හිතලා බලන්න ඒක නිවැරදි කරන්න…

සමනලී කියන්නේ නෑ වැලන්ටයින් දිනේට තෑගි, කාඩ් එපා කියලා….. වි‍ශේෂ සැමරුම් එපා කියලා…. ජීවිතේ වෙනසකටත් ඒක්ක ඒවත් ඕනා. ඒත් ඒ දේවල් සල්ලි වලින්ම මනින්න සරසන්න යන එකේ තේරුමක් නෑ.  පුලුවන් ලොකුම ගාන වියදම් කරලා නොවටිනා ගානට වැලන්ටයින් විකුණන මුදලාලිලාගේ කාඩ්පත් වල තෑගි වල සැබෑ ආදරය නැහැ. ආදරේ සමරන්න ඕනා හදවතින්…. වැඩ රාජකාරි වලින් ටිකක් මිදිලා නිස්කලංකව දෙන්න එක්ක සතුටින් ගෙවුනු අතීතය ගැන මතක් කරලා ආදරෙන් ලගට වෙලා කතා කර කර ඉන්න එක ලොකු හෝටලේක වැඩි ගානක ටිකට් අරන් ගිහින් සෙනග මැද වැලන්ටයින් පාටියේ කකා බිබී නටනවට වඩා හොද නැද්ද? අන්තිමේ නටපු ෆන් එක විතරයි හිතේ ඉතිරි ඒ වගේ අරුත්සුන් සැමරීමකින් ඉතිරි වෙන්නේ.

කොහොම කලත් ඒ  දිනය මේ විදිහට සතුටින් සමරන්න නම් ජීවිතේ හැමදාමත් ආදරේ හදවතින් සමරලා තියෙන්න ඕනා… රැවටීම් සෝබන මැද කිසි හැගීමක් නැතිව අනිත් අයව අනුකරණය කරමින් සල්ලි වලින් ආදරේ මැනපු ආදරේ පෙන්නපු අයට මේ විදිහට වැලන්ටයින් සමරන්න බැහැ. මොකද  ඒ අයට මතක් කරන්න තරම් සුන්දර අවස්ථා නැහැනේ….. තියෙන්නේ වියදම් කරපුවා, රවට්ටපුවා, අනුකරණය කරන්න ගිහින් වැරදුනු ඒවා වගේ තේරුමක් නැති හිස් දේවල් විතරයි.

තමුන්ගේ අතින්ම හදාපු සරල පුංචි කාඩ් එකක් එක්ක ඇය/ඔහු ආසා කරන පුංචි තෑග්ගක් තමුන්ගේ අතින්ම දීලා ගොඩාක් ආදරෙන් නලලට දෙන හාද්දක් එක්කම තමුන්ගේ හිතින් අවංකවම “මම ඔයාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ හැමදාම පවතින්න ඕනා“ කියලා පතන පැතුම තරම් වටින වැලන්ටයින් තෑග්ගක් මේ ලෝකේ වෙන කොහේවත් නැහැ කියලයි සමනලී නම් හිතන්නේ…..

සමනලී ආදරය කරන්න පටන් අරන් මහා කාලයක් නැහැ. සමනලී අයිතිකාරයාට මුලින්ම දුන්න වැලන්ටයින් තෑග්ග තාමත් අයිතිකාරයා හරිම ආසාවෙන් තියන් ඉන්නව වගේම ඒක හොදින් ප්‍රයෝජනයට ගන්නවා….. සමනලී එදා දුන්නේ බුදු පිලිමයක්……. අයිතිකාරයාගේ කාමරේ පාඩම් කරන තැනින් තියාගන්න…..

ආදරේ ගැන සමනලීට වඩා අත්දැකීම් තියන අය ඕනා තරම්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් කියලා යන්න….. සමනලී වැරදි නම් පෙන්වලා දෙන්න….. ඒ අදහස් සමනලීට වගේම හැමෝටම වටීවි…..

හැමෝටම ආදරයේ සැබෑ අරුත දැනෙන සොදුරු වැලන්ටයින් දිනයකට සමනලී සහ අයිතිකාරයාගෙන් සුබ පැතුම්…!! 🙂

මගෙ ලෝකෙට නුඹ කොහෙන්ද…

2011 පෙබරවාරි 5

මලට සුවද පැහැ කොහෙන්ද

මල් පෙති අග පිණි කොහෙන්ද

පැහැය සුවද මගේ ලොවට

අරන් ආව නුඹ කොහෙන්ද….

 

රෑ අහසට සද කොහෙන්ද

සද තනියට තරු කොහෙන්ද

මේ සිත ලග තනි රකින්න

මගෙ ලෝකෙට නුඹ කොහෙන්ද….

 

නෙතට කදුලු බිදු කොහෙන්ද

හදට සුසුම් රැලි කොහෙන්ද

නුඹෙ සෙනෙහස පිරුණු මහද

සතුට මිසක් දුක කොහෙන්ද….

 

සමනලී නැවතත් පියාඹයි……

2011 පෙබරවාරි 1

මතකද  අර බස් එකකින් වැටිලා තටුවක් බිදගෙන එක්තැන් උන පුංචි සමනලීව???? ආ මතකයි මතකයි නේද…… අනේ ඉතින් අන්න ඒ සමනලී දැන් හොදටම සනීප වෙලා ආයෙත් ඉස්සර වාගේම පියාඹන්නයි මේ ලෑස්තිය.

ඒ ගෙවුනු කාලේ අමාරුවෙන් ගෙව්වත් ඒක ජීවිතේට හොද දේවලුත් ගෙනාවා. විශේෂයෙන් සමනලීට යාලුවෝ කොයිතරම් ආදරේද, එයාලා කොයිතරම් හොදට සමනලීව තේරුම් අරන්ද කියලා ඒ ගෙවුනු කාලේ සමනලී හොදටම තේරුම් ගත්තා. සමනලීට වෙච්ච දේ අහලා යාලුවෝ දුක් වෙද්දි “එයාට ඕක උනාට හොද වැඩේ” කියලා සතුටු වෙච්ච කෙනෙකුත් ඉදලා තියෙනවා. ඒ කෙනා සමනලී ගැන කියාපු කතා එක්කම ඒ සේරම දේවල් යාලුවෝ සමනලීට කීවා. ඒ වගේ පහත් කෙනෙක්ගේ කතා අහලා සමනලී ගැන වැරදියට කිසිම දෙයක් නොහිතපු ඒ හොදම හොද යාලුවෝ ගැන සමනලී සතුටු වෙනවා වගේම අර කෙනා ගැන ඇත්තටම දුකකුත් හිතෙනවා. කෙනෙක් වට්ටන්න කපාපු වලේ දැන් එයාම වැටිලා, අනෙක් අය එයා දිහා බලන සහ හිතන විදිය දැක්කාම ඇත්තටම පවු කියලා හිතෙනවා….. ඒ කෙනාගෙනුත් ඉතින් සමනලී ජීවිතේට යමක් ඉගෙන ගත්තා….

අනුන්ව කපලා තමුන් කැපිලා පේන්න මහන්සි වෙන අය නිකන්ම කැපිලා යනවා…

ඒ කෙනා ඇරුණාම අනෙක් යාලුවෝ සේරම එකට එකතු  වෙලා ඒ අමාරු කාලේ සමනලීට ගොඩක් උදවු කලා, සමනලිව තනි කලේ නෑ….. ඒ හැමෝටම බොහොම පිං…….

ඒ ගෙවුනු කාලේ සමනලීගෙයි අයිතිකාරයාගෙයි ආදරේ තරම කොයිතරම්ද කියලත් සමනලීට දැනුනා. ඉස්සර හැමදාම සමනලීව පරිස්සමට ගෙදර කිට්ටුවටම එක්කන් ආපු අයිතිකාරයා නොදැක මාස ගානක් දුකින් ගෙවන්න සිද්ධ උනත් ඒ කාලෙදි අයිතිකාරයාගේ ආදරේ තව තවත් වැඩියෙන් සමනලිට දැනුනා. පොඩි දරුවෙක් ගැන හොයාබලන තාත්තා කෙනෙක් වගෙයි වෙලාවකට සමනලී කෑවද? සනීපෙන් ඉන්නවද? පාඩම් කරනවද? මේ හැමදේම අයිතිකාරයා හොයලා බැලුවා මොහොතින් මොහොත…. සමනලීත් අයිතිකාරයත් තව තවත් ආදරෙන් බැදුනා කීවොත් හරි….  ඒ ආදරේ මහමෙරක් වගෙයි… ඒ තරම් ලස්සන හිතක්, ආදරයක්, අවබෝධයක්, විස්වාසයක් ලබන්න සමනලී මේ තරම් වාසනාවන්තද කියලා හිතෙනකොටත් පුදුමයි….

සමනලීගේ අයිතිකාරයා දැන් බොහොම කාර්යබහුලයි කීවා මතක ඇති නෙව? නැත්නම් මේන්න මේක බලලා හිටින්නකෝ….. මේ ගෙවෙන්නේ සමනලීගේ විශ්වවිද්‍යාල ජීවිතේ අවසාන කොටස…. ඉතින් අවසන් වසර ව්‍යාපෘතිය සහ විභාගේ එක්ක සමනලීටත් සනීප උන ගමන්ම වයින් කරාපු බෝනික්කෙක් වගේ ඉස්පාසුවක් නැතිව වැඩ කරන්න වෙලා ඕං !!!

ඉතින් ඒ වැඩ රාජකාරි සේරම අතරින් ඕන්න සමනලී ආයෙත් මේ සයිබර් අවකාශේ ඉස්සර වාගේම සතුටින් සැහැල්ලුවෙන් පියාසලන්නයි සූදානම………

හැමෝටම සුබම සුබ ලස්සන දවසක්!!!!!

සමනලීගේ අයිතිකාරයා රැකියාවට යන්නට පටන් ගනියි…..

2010 දෙසැම්බර් 5

දේදුන්නේ පාට අරන් කදුලු බිදක් එකතු කරන්
හිරුට හොරෙන් සදුට හොරෙන් පුලුන් වලා පින්සලයෙන්
අපි දෙන්නා හෙමින් හෙමින්  මැවු සොදුරු සිහින රුවන්
නෙතු අද්දර බොද නොවේවි මට විස්වාසයි

රුදුරු දනන් නපුරු සිතින් කලත් නේක හිරිහැරයන්
තරහ සිතක් නැතිව සොදින් අපි දෙන්නා ඉවසීමෙන්
හදේ පිරූ මිහිරි පැතුම් නොවී කිසිත් බාධාවන්
සිත් අහසේ සැබෑ වේවි මට විස්වාසයි

බිදුව බිදුව එකතු කරන් බාධක සැම පසුකරමින්
ඉදිරියටම ඇදෙන සුනිල් සිසිල පිරුනු නදිය ලෙසින්
නොවැටී කිසි විපත් වලින් සිතේ පිරුණු දිරි බලයෙන්
නුඹ දිවි මග ජය ලබාවි මට විස්වාසයි

නිසි ලෙස යොදවා දැනුමන් පෙන්වා අපමණ දස්කම්
ඉටු කොට කල යුතු යුතුකම් ලබමින් සැම දන පැසසුම්
පියවර එක එක තබම්න් දියුණුව ඉහලටම යමින්
ලොකු මහතෙකු වෙයි ඔබ මට එය විස්වාසයි

අපේ සිහින සැබෑ කරන් අපේ පැතුම් සැම දිනමින්
අපි දෙන්නා සොදුරු සිතින් දිවි මග සරසමු සෙනෙහෙන්
සියලු සතුට දී මතු දින සනසා දරුවෙකු විලසින්
අදරින් මා රකීවි
නුඹ මට විස්වාසයි

සමනලීට ඔන්න හරිම සතුටුයි..!! ඒ වගේම ටිකක් දුකයි… ම්… ඒ මොකද සතුටුයි දුකයි දෙකම????

මේකනේ හේතුව දැන් සමනලීගේ අයිතිකාරයා ලොකු අයිතිකාරයෙක්, එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් රස්සාවකට යන්න පටන් ගත්තා. ඉතින් සමනලීට හරි සතුටුයි එයාගේ අයිතිකාරයා දැන් ජීවිතේ දුර ගමනක් යන්න පටන් අරන්. ගොඩාක් බලාපොරොත්තු හිතේ පුරෝගෙන ලස්සන හීන ගොඩාක් තියෙනවා හැබෑ කරගන්න…. ඒ හැම දෙයක්ම වෙනුවෙන් සමනලීගෙ අයිතිකාරයා හුගක් මහන්සි වෙනවා, වෙහෙස මහන්සිය ​නොබලා කැප වෙනවා..

ඉතින් අයිතිකාරයා හැමදාමත් පොරොන්දු උනා සමනලී එක්ක එකතු වෙලා අනාගතේ ගැන ඇදපු ලස්සන හීන සිතුවම් එකක් වත් නැතිවෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. පුංචි තැනකින් පටන් අරන් යන්න පුලුවන් ඉහලම තැනට අයිතිකාරයා යාවී. සමනලී පුලුවන් හැම විදියෙන්ම අයිතිකාරයාට ශක්තියක් වෙන්න මහන්සි වෙනවා… අයිතිකාරයා කියන්නේ එයා ඒ හැමදෙයක්ම කරන්නේ සමනලී වෙනුවෙන් කියලයි… අපි දෙන්නගේ අනාගතේ වෙනුවෙන් කියලයි…. ඉතින් මීට වඩා වෙන මොනවද ඕනා සමනලීට සතුටු වෙන්න??? සමනලී කොයිතරම් වාසනාවන්තද…

ආ දුක හිතුනේ ඇයි එතකොට????? අනේ දැන් ඉතින් අයිතිකාරයාට රස්සාවට යන්න වෙලා නිසා සමනලීට අයිතිකාරයාව දකින්න කතාකරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්නේ.. ඒ පාලුව දරා ගන්න බැරි තරමි.. ඒකයි දුක හිතුනේ

මේ කවි පෙල ලීවේ සමනලීගේ ඒ සොදුරු අයිතිකාරයා වෙනුවෙන්….

මගේ සුදු මේ පටන් ගත්ත ජීවිතේ අලුත් ගමන කිසිම කරදරයක් නොවී දවසෙන් දවස දියුණූව ලැබිලා ඉහලටම යන්න ඔයාට පුලුවන් වෙන්න ඔයාගේ පුංචි සමනලී ගොඩාක් ආදරෙන් සුභ පතනවා!!!! අයිතිකාරයා සමනලීව හරිම ආදරෙන් පරිස්සම් කරලා බලාගන්න ලස්සන අනාගතයක් සමනලී වෙනුවෙන්, අපි දෙන්නා වෙනුවෙන් උදා කරලා දෙන බව සමනලීට විස්වාසයි… සත්තකින්ම…..

සමනලීගේ අයිතිකාරයාට තෙරුවණ් සරණයි!!!!

පුංචි සමනලීගේ අයිතිකාරයාට සෙනෙහසින්……

2010 නොවැම්බර් 21


හඩන මහ අහස හැර

වැටෙන වැහි බිදුව මම

නොරිදවා නිතින

තුරුලේ හොවන පොළොව ඔබ

 

නෙක තරු මැද දිලෙන

පුංචි තරු කැටය මම

ඒ තරුව හැ​​​ඩ මවන

මහා හිරු කිරණ ඔබ


නුබ ගැබේ පාව යන

වලාකුලු කුමරි මම

හමා යන නිති රැදෙන

රකින මහ සුළග ඔබ


සිසිල ගෙන හරි හැඩට

ගලන නිල් නදිය මම

සුරත ගෙන සැනසෙන්න

මග බලන සයුර ඔබ


පිපී රග දෙන සුවද

පැහැ පිරුන කුසුම මම

බඹර නෙතු වසා මා

රකින තුරු මුදුන ඔබ


දහසකුත් නෙතු අතර

නොනැවතුනු දෙනෙත මම

පැතූ සෙනෙහසින් ඒ

දෙනෙ​තෙ ඇදි රුවයි ඔබ


රුදු දනන් මැදින්

පය තබමි දිවි ගමන දුර

තබන පය සුරැක මග

එළි කරන දෙවිදු ඔබ


සෙනෙහෙ රැකවරණ පිරි

සොදුරු සිත් අහස ඔබ

කිරුළු රැදි රැජින ඔබේ

හදේ සමනලීය මම

 

පුංචි සමනලීගේ ආදරණීය අයිතිකාරයාට සෙනෙහසිනි………….

සමනලීගේ කැඩුනු කකුලේ බලයෙන් දග පොඩ්ඩන් හොද පොඩ්ඩන් උන හැටි….

2010 නොවැම්බර් 19

සමනලී බස් එකෙන් වැටිලා තටු කඩා ගත්තු කතාව දැන් ඉතින් හැමෝම දන්නවනේ නේද? දන්නේ නැති අයට ඕනා නම් මෙතැනින් ඒක අග සිට මුලටම දැන ගන්න පුලුවනි ඔන්න. (හැබැයි මුල විතරයි ඉතින්, අග තාම නැහැනේ… සමනලීට තාම හරියට සනීප වෙලා නැති නිසා අග කොටස සම්පූර්ණ නෑ)

තනි පයින් වැඩ කරගෙන තනිකම දරාගන්න බැරිව අමාරු කාලයක් ගෙවන ගමන් සමනලී මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ සිද්ධිය නිසා සමනලීට මුහුණ දෙන්න උන අත්දැකීම් වලින් ටිකක් ඔයාලා එක්කත් බෙදාහදා ගන්නයි…….

දැන් ඉතින් අසනීප උනාම, සමනලී වගේ තටු කැඩිලා එකතැන් උනාම හිතමිත්‍රාදීන් දුක සැප බලන්න ලෙඩා බලන්න ඈවිත් යනවනේ.. සමනලී බලන්නත් ගොඩාක් දෙනෙක් ඇවිත් යනවා. වෙලාවකට ඒ අය අනුකම්පාවෙන් ව​ගේ සමනලී දිහා බලන එක සමනලීට වදයකුත් වගෙයි. ඒත් සමනලි ආසම වැඩේ ඒ අය එක්ක පුංචි දරුවෝ ආවමයි! සමනලීගේ කැඩුනු කකුලටත් පුදුම බලයක් තියෙන බව සමනලී දැනගත්තේ එයාලා ආපු වෙලාවල් වලදියි!!! ඒ බලයෙන් දග ළමයි හොද ළමයි කරන්න පුලුවනි!!!

මෙන්න මේකයි සිද්ධ උනේ……….

පුංච් ළමයින්ට හරි හරි ප්‍රශ්න නෙව තියෙන්නේ… හරියට අර “කෙසෙල් කොටුවේ චූටි මහත්තය”ට තිබුනු ඔලුව හිර උන ප්‍රශ්න වගෙයි…. 🙂 සමනලීව බලන්න එන පොඩ්ඩෝ හැමෝම එකම විදියට තමයි ප්‍රශ්න ඈහුවේ. ඒත් එයාලගේ අම්මලා දුන්න උත්තර ඇහුවාම නම් පොඩ්ඩන්ට හිතෙන්න ඈති අනේ මම ඒක අහපු මෝඩකම කියලා!!!!!

හැබෑට මොකද්ද දැන් මේ පොඩ්ඩෝ හැමෝම අහපු ඒ වැදගත් ප්‍රශ්නේ???? ඒක තමයි….

“අමිමේ…. ඈයි අර අක්කාගේ කකුලට එහෙම වෙලා?? මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ඈයි ඒ අක්කා ඇදට වෙලා කකුල ඔතාගෙන ඉන්නේ???”

ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. පොඩ්ඩෝ ඈස් දෙක ලොකු කරන් යකෙක් දැක්කා වාගේ සමනලීගේ ප්ලාස්ටර් කරපු කකුල දිහා බලන් ඉන්නේ. ඉතින් බබාලගේ අම්මලාත් කියනවා “ඒ අක්කගේ කකුල කැඩිලනේ පුතේ ඒකයි ඒ ” කියලා. දැන් කකුල නිකම්ම කැඩෙන්නේ නැති බව මේ නුවණැති පොඩ්ඩෝ දන්නවනේ. එහෙනම් තවත් ප්‍රශ්න අහන්නෙපැයි….

“ඒ කොහොමද අම්මේ කකුල කැඩුනේ? :O

පොඩ්ඩෝ ඒක අහන්නේ තමුන්ගේ කකුලත් අතගාලා බලලා ඒක හොදට තියෙනව​ නේද කියලා සැක හැර ගන්න ගමන්. ඔන්න එතකො​ට අම්මලා දුන්න උත්තර තමයි උත්තර…. සමනලීත් උඩබිම බැලුවා ඒවා ඈහෙද්දී….. හැබෑටම මොනාද අප්පේ ඒ පුදුම උත්තර??? ඔන්න එහෙනම් අහගන්නකෝ……

“ඒ අක්කිට කොච්චර එපා කීවත් ගේට්ටුව ඈරිය ගමන් පාරටම දුවනවලු! ඉතින් දෙවියෝ එයාගේ කකුල කැඩෙන්න පාරක් ගහලා අම්ම කීව දේ අහන්නේ නැ කියලා!!!!”

“ආන්න දැක්කද? ඒක තමයි මම පුතාට කියන්නේ බිත්තියේ තියෙන ස්විච් අල්ලන්නෙපා කියලා…. ඒ අක්ක එහෙම කරලා කකුලට කරන්ට් වැදිලා!!!”

“ඔන්න අපි දන්නේ නෑ ඔයත් අයියාගේ ඈදුම් විසි කරන්න… අයියගේ බඩු අදින්න… ඒ අක්කත් එහෙම කරලා එයාගේ තාත්තට හොදටම තරහ ගිහින් කකුලට ගහලා!!! දැක්කා නේද?”

“ඒකනේ අම්මා කියන්නේ බබා කෑම ඔක්කොම කන්න කියලා. ඒ අක්කි කන්නේ නෑලු, කෑම එපා කියලා අඩනවලු. කෑම නැතිව කකුල් හයිය නෑනේ… ඉතින් කැඩිලා!!!!”

“ඒ අක්කා එයාගේ අයියට පයින් ගහන නෝටි අක්කා කෙනෙක්ලු. එහෙම කලාමනේ කකුල් කැඩෙන්නේ… ඒකනේ අම්මි බබාට කියන්නේ අයියට පයින් ගහන්නෙපා කියලා!!!!”

“අක්කා පාරේ යද්දි දකින දකින දේ ඉල්ලලා අඩනවලු. එහෙම නරක ළමයින්ට තමයි ඔහොම වෙන්නේ!!!!”

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ!!!! මේ මොනාද බොලේ මේ කියන්නේ???? සමනලී ජීවිතේටම කරලා නැති විදියේ වැරදි වැඩ ටොන් එකක් එතැන…… අනේ අර පොඩ්ඩෝ ලොකු කරගත්තු ඇස් තවත් ලොකු කරගන්න ඉඩ මදි නිසා කටත් ඇරන් සමනලී දිහා බලන් ඉන්නේ.

සමහරු හිතනවා ඈති “අපොයි මෙයත් හරිම නරක ළමෙක්නේ… චී චී” කියලා. තවත් සමහරුන්ගේ මූණෙ තිබුනේ “හා හා එහෙනම් මෙයත් මගේ ජාතියෙමනේ… හරි ෂෝක්නේ” වගේ බැල්මක්!!!!! 🙂

අර අම්මලත් ලැබුනු අවස්තාවෙන් ගත්තේ නැතෑ උපරිම ප්‍රයෝජනේ…. පොඩ්ඩෝ ඉස්සරහ සමනලීගේ නම්බුව ඉවරයි…. 😛

ඒ අස්සේ සමහර පොඩ්ඩෝ අඩන්න ඔන්න මෙන්න, සමහරු නම් ටැප් එකක් ඇරියා වගේ අඩන්න අරන්….. ඈයි ඉතින් දැන් ඔය කීවේ තමුන් කරන වැරදි වැඩනේ, අපෝයි දැන් කකුල කැඩුනොතින් එහෙම?? සමනලීට පවු කියලත් හිතුනා. ඒත් ඉතින් ඒ පුංචි වයසේ එයාලා ඒක ඈත්ත තමයි කියලා විස්වාස කරලා එ වැරදි නොකර ඉන්න එකත් හොදයිනේ?

කොහොමහරි අනේ මේ අහිංසක සමනලී අර එන පොඩ්ඩෝ ඉස්සරහ මහ නරකම නරක ළමයෙක් උනේ නැතැයි…… ආ……. ඔය එක එක දග වැඩ කරන හදාගන්න බැරි පොඩ්ඩෝ එහෙම ඉන්නවනම් සමනලී අක්කාගේ කැඩිලා ප්ලාස්ටර් කරපු කකුලෙ බලෙන් හොද මගට ගන්න පුලුවනි ඕං…….. 😀

(සමහර පොඩ්ඩන්ගෙන් ඉතාම හොද ප්‍රගතියක් පෙනුන බව ඒ අම්මලා සමනලීටම ටෙලිෆෝන් කර කියා සිටි බව සතුටින් දන්වමි)

ඉතින් මේ පෝස්ට් එක කියවපු එකේ ඔයාටත් ඒ වගේ අත්දැකීමක් තියේ නම් ඒකත් කියලාම යන්ටකෝ….. සමනලීගේ අත්දැකිම වගේ හරි අර පොඩ්ඩ​න්ගේ අත්දැකීම වගේ හරි???? 🙂

අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා…….

2010 නොවැම්බර් 17

පියුම් නොපිපෙයි අතු අගින් අද තුරු මුදුන් ඈත මැලවිලා
සොවින් වැලපෙන කුරුලු ගී පද කදුලු දෙනෙතට ලං කලා
පාලු අහසට දරනු බැරි බර කදුලු වැසි පොද දියකලා
මල් සුවද නැති බොල් සුලග දැවටෙයි සුසුම් වැල් පුරවලා


සදේ එළියෙන් කුමුදු නොපිපෙයි රිදී විල් දිය සැගවිලා
තරුද නොදිලෙන හිස් අහස මගෙ සිතේ කැඩපත් රුව වෙලා
හදේ සෝ දුක් සුසුම් රැලි වල වලා සේලය පැටලිලා
හිරුත් දෙවැනියි නැගෙන දුක් ගිනි දවන මා හද රිදවලා


රුව දකිනු නැති ​වදන් නොඈසෙන දුරක ඉන්නට සිදුවෙලා
සෙනෙහෙ වදනින් පිරෙන දෙසවන් වැසී පාලුව රජවෙලා
සිනා මල් සහසක් මැදින් දැවටෙන්න ඔබ ලග සැනසිලා
අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා

 

පාලුවෙන් තැවෙන සමනලීගෙනි…

සමනලීගේ පියාපතක් බිදී සමනලී එකතැන් වෙයි!!!!!

2010 නොවැම්බර් 13

අනේ කටිටියට හිතුනේ නැද්ද ඈයි මේ සමනලී මාසයකටත් වඩා සද්ද නැතිව ඉන්නේ කියලා? වෙලාව ලැබෙන හැටියට සමනලි කොහොමින් හරි ඉතින් ඔයාලා බලන්න ආවා නෙව ඉස්සර. ඒත් අනේ බලන්න සමනලීට වෙච්ච ඈබැද්දිය……….

මීට මාස 1 1/2 කට විතර කලින් බටහිර අහසින් ලස්සනට ඉර මාමා බැහැගෙන යන හැන්දෑවක සමනලීත් දේශන අවසන් වෙලා බොහොම සතුටින් ගෙදර යන්න පිටත් උනා. එදා ගෙදර ගියාම ටිකක් නිදහසේ ඉදලා ඊලගට කරන්න වැඩ ගොඩක් සැලසුම් කරගෙන එහෙම සමනලි පිටත් උනේ. ඒත් එදාසමනලීට ගෙදර යන්න ලැබුනේ බොහොම දුකින් 😦

සමනලී ගිය බස් එකේ රියදුරු මාමා වේගෙන් ආවෙත් නෑ. ඒත් අනේ සමනලී බස් එකෙන් බහිද්දිම දඩෝං ගාලා වැටුනා නෙව බස් එකෙන් !!!!! සමනලීට දැනුනේ පා වෙලා ගියා වගෙයි. සමනලී දනි පනි ගාලා නැගිට්ටත් සමනලීගේ කකුලේ මොකක් නමුත් වැරැද්දක් වෙලා තියෙන බව සමනලීට දැනුනා. අනේ බලන් ඉද්දිම එක මොහොතින් කකුල හුලං පිරෙන බැලුමක් වගේ ඉදිමුනා. උහුලන්න බැරි වේදනාවයි බයයි එක්ක ඈස් වලට කදුලුත් ඈවිත්.

අන්තිමේ ගෙදර යන්න කියලා ආපු සමනලීට යන්න උනේ ශ්‍රි ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට! එතැනින් x-කිරණ ජායාරූප එහෙම අරන් ඒ අය කීවේ නැතැයි සමනලීගේ කකුලේ අස්ථියක් පුපුරලා ගිහින් කියලා!!! සමනලීට දැනුනේ ලෝකෙම කඩා වැටුනා වගෙයි. අනේ ඉතින් ඒ කකුල වටේට බරම බර ප්ලාස්ටරයක් එහෙම දාලා සමනලීව ගෙදර එව්වා. ඒ කකුල හොදටම සනීප වෙන්න සති 6කට වඩා යාවී කීවා, එතකල් ඒ කකුල බිම තියන්න, ඈවිදින්න, කකුල පහත දාගෙන ඉන්න සපුරා තහනම් කලා.

ඉතින් ඉන්පස්සේ එළැඹුනේ සමනලීගේ ජීවිතේ බොහොම දුෂ්කර කාලයක්. තාමත් සමනලීට හරියටම සනීප නෑ. ප්ලාස්ට​රේ ඉවත් කරලත් නෑ. එහෙ මෙහෙ නිදහසේ සැහැල්ලුවෙන් පියාඹමින් උන්න සමනලී එක පාරටම එකතැන් උනා. මුලදි මේක සමනලීට දරාගන්නම බැරි උනා, දවසෙම කල්පනා කර කර හිතින් තැවුනා, දැනුනු අසරණකම එක්ක සමනලී උපරිමෙන්ම මානසිකව වැටුනා. පොත් පත් රූපවාහිණි පරිගණක සේරම ලගට කරලා දුන්නත් සමනලීට ඒ සේරම ​එපා උනා.

ඒත් සමනලීට එහෙම හිතින් වැටෙන්න ලැබුනේ ටික කාලයයි. සමනලීට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ තුන් දෙනා සමනලීට වැටුනු තැනින් ආයේ සුපුරුදු තැනට ගේන්න එයාලාට පුලුවන් හැම දේම කලා. සමනලිගේ අම්මා සමනලි ලගම ඉදන් මේ වගේ තත්වෙකදි උනත් තමුන්ගේ වැඩ සේරම තනියෙන් කරගන්න හැටි කියාදුන්නා.රෝද පුටුවේ වාඩි වෙලා වැඩ කරගන්න හැටි කියා දුන්නා.

සමනලීගේ අයිතිකාරයා කොයිතරම් බාධක දුෂ්කරතා මැද්දේ උනත් කොහොමහරි මාර්ගයක් හදාගෙන සමනලීව බලන්න ආවා. සමනලී කියවන්න ආසා පොත් ගොඩාක් ගෙනැත් දීලා කල්පනා කර කර ඉන්න එකෙන් සමනලීව වැලැක්වුවා. පුලුවන් හැම මොහොතෙම සමනලීට කතා කලා. සමනලීට ඕනා කරන බෙහෙත් ගෙනැත් දුන්නා. හැම මොහොතකම අයිතිකාරයා සමනලී ලගමයි කියලා සමනලීට දැනෙන්න ගොඩාක් මහන්සි වෙනවා. මොහොතින් මොහොත සමනලී ගැන හොයලා බලනවා. සමනලීගේ හිතට අයිතිකාරයා ලග නැති පාලුව ගොඩක් දැනෙනවා…… ඒත් අයිතිකාරයා සමනලීට තියෙන ආදරේ ගව් ගානක් ඇත උන්නත් දැනෙනවා වගෙයි.

සමනලීගේ තාත්තා සමනලීට කකුල යන්තම් පහත දාන්න විතරක් ​​වෛද්‍යවරු අවසර දුන්න ගමන් සමනලීව විශ්ව විද්‍යාලේ දේශන වලට එක්කන් ගියා. අනේ තාත්තේ මාව වැටෙයි කියලා සමනලී බය වෙද්දි නෑ ඔයා වැටෙන්නේ නෑ තාත්තා ලග ඉන්නවා කියලා කිහිලිකරු වලින් ඈවිදින සමනලීව හෙමින් හෙමින් දේශන ශාලාවට එක්කන් ගියා.

මේ වෙද්දි ප්ලාස්ටර් කරපු කකුලත් වාරු කරන් කිහිලිකරු වලින් ඈවිදගෙන ගිහින් සමනලී එයාගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෟතියේ පූර්ව ඉදිරිපත් කිරීමකුත් (Introduction Presentation) කලා. විවිධ ආයතන වල ප්‍රධානීන් හමුවේ සමනලී කිහිලිකරු වලට වාරු වෙලා කරපු ඒ ඉදිරිපත් කිරීම අවසන් කරනවත් එක්කම ලැබුනු අත්පොලොසන් හඩේ ගෙෘරවය අයිති සමනලීටත් වඩා සමනලීගේ ලෝකේ මහා පවුරක් වගේ ආරක්ෂාව ආදරය දෙන අම්මයි, තාත්තයි අයිතිකාරයටයි තමයි අයිති.

ප්ලාස්ටරේ ඉවත් කලාට පස්සෙත් කාලයක් බිම නොතියපු කකුල තියලා ඈවිදින්න සමනලීට වෙනම පුරුදු වෙන්නත් වේවි. ඒත් සමනලී හුගක් බලාපොරොත්තු තියාගෙන මග බලන් ඉන්නවා ආයෙත් ඉස්සර වාගෙම සැහැල්ලුවෙන් එහෙ මෙහෙ පියාඹන සමනලී වෙන්න……

සමනලීගෙ අයිතිකාරයා මග බලන් ඉන්නවා ආයෙත් සමනලීව ආදරෙන් පපුවට තුරුල් කරන් සමනලීට ජීවිතේ ලොකු හයියක් වෙන්න…….

හොදටම සනීප වෙලා සමනලී ආයෙත් එන්නම්. සමනලීව අමතක වෙන්නේ නෑ නේද එතකල්?

%d bloggers like this: