සමනලී ඇසූ කතාවක්.....
වෛරයෙන් හා ඊරිසියාවෙන් පෙලීම බොහොමත් භයානකය.... එයින් තමාම විනාශ වන බව තමාටවත් නොදැනීම එහි විනාශකාරී ස්වභාවය වැඩි කරයි
අයිතිකාරයාගෙන් සමනලීට ලැබුනු උපන් දින තෑග්ග…..සමනලී සහ අයිතිකාරයාගේ සුන්දර කතාව පොතකින්…..
යාන්තම් නිවාඩු කාලේ කරන්න තියෙන වැඩ වලින් භාගයක් විතර ඉවරයි….. ටිකක් සැනසීමක් හිතට දැනෙනවා……
දැන් කට්ටිය බලනවා ඇති සමනලීගේ උපන් දිනේ කවද්ද කියලා? හී හී සමනලිගේ උපන්දිනය පහුවෙලා ගොඩාක් දවස් දැන්… ඒක තිබුනේ ජූනි මාසේ 5 වැනිදානේ.
ම්….. එතකොට දැන්ද සමනලීට උපන් දින තෑගි දුන්නේ අයිතිකාරයා? අපෝ මෙච්චර පහුවෙලා??? ඔයාලට දැන් හිතෙන්නේ එහෙම නේද? අනේ නෑ නෑ….අයිතිකාරයාට උපන් දින තෑග්ගක් දෙන්න සමනලීට අතපසු උනාට සමනලීගේ අයිතිකාරයා හරියටම වෙලාවට සමනලීට හුඟාක් වටින ලස්සන උපන්දින තෑග්ගක් දුන්නා…… 🙂
මේ උපන් දින තෑග්ග සමනලීට දෙන්න අයිතිකාරයා පහුගිය අවුරුද්දේ සමනලීගේ උපන්දිනේ කාලේ ඉදන්මයි මහන්සි උනේ…. හුඟාක්…. ඇත්තටම හුඟාක් මහන්සි උනා එයා……
අයිතිකාරයාගේ අතින්ම හදපු මේ උපන් දින තෑග්ග සමනලීගේ ජීවිතේ සමනලීට ලැබිච්ච සුන්දරම උපන් දින තෑග්ගයි….
මොකක්ද දන්නවාද මේ ආදරණීය උපන් දින තෑග්ග? ඒක තමයි සමනලීයි අයිතිකාරයයි ඉස්සෙල්ලාම දැකපු දවසේ ඉදන් සමනලීගේ පහුගිය උපන්දිනය වෙනකල් ඒ දෙන්නා අතර ඒ දෙන්නා වටේ සිදුවුනු හැමදේම ලියාපු ලස්සන කතා පොතක්…… පුංචි නවකතා පොතක් වගෙයි.
පුංචි සමනලීගෙයි අයිතිකාරයාගෙයි ලස්සන ආදර කතාව….. ලස්සන පින්තූර දාලා අයිතිකාරයා අතින්ම ලියලා දුන්න සොඳුරු කතාවක්…… ඒ එක්කම ඒ පොතේ තියන්න ලස්සන බුක් මාර්ක් එකක්…… පොතේ පිට කවරේ, බුක් මාර්ක් ඇතුලු හැම දේම අයිතිකාරයා අතින්ම නිර්මාණය කරලා…….
මේ තියෙන්නේ ඒ ලස්සන කතා පොතේ පිටු කිහිපයක්……..
පිට කවරය, ආදරණීය කතාවක මුල්පිටුව:
බුක් මාර්ක් එක:
සුන්දර ඇතුලු පිටු කිහිපයක්……..
විශ්ව විද්‍යාලයේ දේශන, කුප්පි මැද අයිතිකාරයා සහ සමනලී අතර හුවමාරු වූ පුංචි පණිවුඩ වල මතක සටහන් කිහිපයක්…. හැබැයි මේ වෙද්දි සමනලී සහ අයිතිකාරයා හොදම යාලුවෝ විතරයි 🙂 මේ සේරම දේවල්, පුංචිම තුණ්ඩු කෑලි පවා අයිතිකාරයා පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා…….
ඉතින් සමනලීට මේ තෑග්ග හරියටම උපන් දිනේට ලැබුනා….. විභාගේ වැඩ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න ප්‍රමාද උනේ
ආ….. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න…. මේ උපන් දින තෑග්ග වගේම ලස්සන කවි පෙලකුත් අයිතිකාරයා සමනලීට එව්වා….. හරියටම උපන්දිනේ දවසේ රෑ 12ට හදවතින්ම පතාපු මේ පැතුම සමනලීට ලැබුනා…..
ජීවිත ගමනට මල් වැසි වසින්නට
ඇස්වහ කටවහ සැම දුරු කෙරෙන්නට
බාධක කරදර සැම ජය ලබන්නට
තිසරණ සරණින් ආසිරි පතනෙමි ඔබට….
නිරෝගි සුව සැමදා රැදෙන්නට
නෙතඟ කදුලැල් නොම ලැබෙන්නට
මුවඟ සිනා කැන් සැමදා රැදෙන්නට
වේවා සුභ දිනක් මගේ කුමරි හට….
මේ කතා පොත කියවන් යද්දි සමනලීගේ ඇස් වලට කදුලු ආවා….. දුක හිතිලා නෙවී…. සතුටු කදුලු…. ඇත්තටම මේ තෑග්ග ගැන කියන්න සමනලීට තේරෙන්නේ නෑ…. ඒ තෑග්ග වගේම අයිතිකාරයා කරන කියන හැම දේකින්ම සමනලීට දැනෙන්නේ සුන්දර ආදරයක්, අවබෝධයක් වගේම ආරක්ෂාවක්……..
ඇත්තටම සමනලී හරිම වාසනාවන්තයි…… ඒ සමනලීගේ අයිතිකාරයා නිසයි…….
කිසිදා නොපිරුනු අරුම පුදුම පෙට්ටිය…….
ඔන්න ඉතින් “අනේ විභාගේ… විභාගේ…” කියලා සමනලී කාලයක් නිහඩ වෙලා උන්නා…… දැන් විභාගේ යාන්තම් ඉවරයි….. ඒ පාර විභාගේ ඉවරවෙලත් “අනේ වැඩ වැඩ…. පැවරුම් කෝටියයි….” කියලා කියන්න සිද්ධ උනා නෙව සමනලීට!!!!! 😦
ඒත් ඉතින් සමනලීගේ අයිතිකාරයා සමනලීට ආදරෙන් හැමවෙලේම මතක් කරලා කියාදෙනවා හැමදේටම වෙලාව වෙන් කරගෙන හැමදේම හොදට කරන්න අපි පුරුදු වෙන්න ඕනා කියලා….
ඉතින් ලැබුනු පුංචි ඉස්පාසුවකදී සමනලී අහපු මේ පුංචි කතාව ඔයාලා එක්ක බෙදාගන්න සමනලී හිතුවා.
මුලින්ම සමාවෙන්න ඕනා මේ කතාව සමනලී ඇහුවේ පුංචි කාලේ.. ඒ නිසාම මේ කතාවේ පසුබිම් විස්තරය සමනලීට මතක නෑ… මේක එක්තරා රටක ජන කතාවක් වග මතකයි, ඒත් ඒ රට මතක නෑ…. මෙහෙම බාගෙට මේ කතාව පලකරන එක හරිමදි උනත් මේකේ කියවෙන දේ හරිම වැදගත් කියලා හිතෙන නිසාමයි මේ ඔයාලා එක්ක බෙදාගන්නේ……
හා හා දැන් වෙන කතා ඇති නේද? අපි කතාව අහමු…….
එක්තරා රටක බොහොම ලස්සන ගම්මානයක් තිබුනා. ඒ ගමේ වැසියන් බොහොම වෙහෙස මහන්සි වෙලා උපයාගත් මුදලින් ජීවත් උනා. දිනක් මේ ගම්මානයට අමුත්තෙකු පැමිණියා. ඔහු ගමේ වැසියන්ට විශාල මුදලක් එකවර සොයාගත හැකි ක්‍රමයක් තමුන් සතු බව පැවසුවා. ගම්මුන් ඉතා උනන්දුවෙන් ඒ පිලිබද විස්තර අසා සිටියා.
අමුත්තා තමා අතැති කුඩා පෙට්ටියක් පෙන්වා සිටියා.
“මේ පෙට්ටිය පිරී ඉතිරී යන තුරු ඔබ කැමති ඕනෑම දෙයක් මෙහි පුරවා පෙන්වන්න. ඔබ අතරින් යම් කෙනෙකු මේ පෙට්ටිය පිරී උතුරා යන තරම් යමක් පුරවා පෙන්නුවොත් මෙන්න මේ විශාල රන් කාසි මල්ල ඒ පුද්ගලයාට ලැබේවි…..”
අමුත්තා කුඩා පෙට්ටියක් සහ ඊට වඩා විශාල බරැති රන් කාසි මල්ලක් පෙන්වා සිටියා.
“අපෝ මේ කුඩා පෙට්ටිය පුරවන්න බැරි කාටද? මොහු මහ මෝඩයෙක් නෙව මෙවැනි ඔට්ටු අල්ලන්න….” ගැමියන් සිතුවා. ඔවුන් අර විශාල මුදල ලබාගැනීමට සිතා පෙට්ටිය පුරවා පෙන්වන්නට අවස්තාවක් ලබා ගන්නට පොරකන්නට උනා.
“මොහොතක් ඉවසන්න මගේ මිත්‍රයනි…” අමුත්තා කපටි ලෙස සිනාසුනා…. “මෙය කොන්දේසි සහිතයි! ඉදිරිපත් වූවෙකුට පෙට්ටිය පුරවා උතුරා යනු පෙන්වීමට නොහැකි වූවොත් ඔහු මට රන් කාසි 10 බැගින් ගෙවිය යුතුයි…..”
“මේ නම් මහා මෝඩයෙකි…. මේ පෙට්ටිය පිරවීම මහා දෙයක්ද?” සිතූ ගැමියන් ඉවසිල්ලක් නැතිව ඉදිරිපත් වෙන්නට පටන් ගත්තා……
අමාරුවෙන් පොරකමින් පළමු අවස්ථාව ලබාගත් තැනැත්තා අමුත්තා දෙස සිනාවක් හෙලමින් පෙට්ටිය අතට ගත්තා. උදැල්ලක් අතට ගත් ඔහු වහාම පෙට්ටියට පස් පුරවන්නට පටන් ගත්තා. ඉතා වේගයෙන් පෙට්ටිය පිරෙන්නට ගත්තා. කට ලගටම පිරුණු පෙට්ටිය ඉන් එහාට කොතරම් පස් දැමුවත් පිරී ඉතිරී ගියේ නෑ!!! ගැමියන් සියල්ල විස්මයෙන් බලා උන්නා. පස් පුරවන්නට ගත් ගැමියා පෙට්ටිය ඔසවා එහි යට පැත්තේ සිදුරක්වත් තිබේදැයි පරීක්ෂා කලා. නමුත් එවැන්නක් නොවීය. රන් කාසි මල්ල දෙස ගිජු බැල්මක් හෙලූ ගැමියා උත්සාහය අත් නොහැර තව තවත් පස් පුරවන්නට වූවත් පෙට්ටිය පිරී ඉතිරුනේ නම් නෑ…!!! අවසන වෙහෙසට පත් ඔහු ඉතා දුකසේ තමා සතු රන්කාසි 10ක් අමුත්තා අත තබා ඉවත් උනා……
නමුත් ගැමියන් රන් කාසි මල්ල අත්පත් කරගැනීමේ ආසාව අතහැරියේ නැත. බොහෝදෙනෙක් පෙට්ටිය පුරවන්නට ඉදිරිපත් විය. ඔවුන් එක එක්කෙනා විවිධ දේ යොදාගෙන පෙට්ටිය පිරවීමට උත්සාහා කලහ. වැලි, ජලය, පිදුරු, ගොම, කඩදාසි, රෙදි යනාදී ලෙස තවත් බොහෝ දේ ඔවුන් යොදාගෙන උත්සාහා කල නමුත් ප්‍රථිපලය එකම විය…. සිදුරක් නොමැති ඒ කුඩා පෙට්ටිය කට ලගටම පිරෙන මුත් කිසිම දෙයකින් පිරී ඉතිරී නොගියේය!!!!!! ඉදිරිපත් වූ සියල්ලන්ටම සිදු වූවේ රන්කාසි මල්ලක් දිනාගැනීම වෙනුවට තමා සතු රන්කාසිත් අමුත්තාට දීමටයි….
අවසානයේ එහි විසූ සියලුම ගැමියන් මේ සදහා ඉදිරිපත්ව තිබුනු නමුත් කිසිවෙක් කිසිම ද්‍රව්‍යයක් යොදාගෙන මේ අරුම පුදුම පෙට්ටිය පිරවීමට නම් සමත් නොවීය!!!!! අමුත්තා රන් කාසි විශාල ප්‍රමාණයක් අසරණ ගැමියන්ගෙන් උපයාගෙන තිබිනි.
දිනය අවසානයේ අමුත්තා ඉතා සතුටින් සිය බඩුබාහිරාදිය අසුරා ගත්තේය. “ඉතින් මගේ මිත්‍රයනි මට කණගාටුයි. ඔබ කිසිවෙකුට බැරිඋනා නෙව මගේ අභියෝගය දිනන්න… තවත් මෙහි සිටීමෙන් මට පලක් නෑ…. මම සමුගන්නයි හදන්නේ….”
මේ අතර මේ අරුම පුදුම පෙට්ටිය ගැන ගම්මානයේ පූජකවරයාට දැනගන්නට ලැබුනා. එතුමා වහාම අමුත්තා සොයා පැමිණියා. අමුත්තා පිටත් වීමට පෙර ඔහු වෙත පැමිනෙන්නට පූජකවරයා සමත් වූවා.
“කරුණාකර මදක් නවතින්න මිත්‍රයා….. කෝ බලන්න ඔය පෙට්ටිය…….” අමුත්තා නොකැමැත්තෙන් පෙට්ටිය පූජකවරයා අතට දුන්නා. පෙට්ටියේ පතුල දෙස විමසිල්ලෙන් බැලූ පූජකවරයා “හොදයි මමත් කැමතියි අභියෝගය භාරගන්න” කීවේ ගම්මුන් විස්මයට පත්කරමින්.
පූජකවරයා අසල ගෙයකින් ජල බදුනක් ගෙන්වාගෙන එහි වූ ජලය ක්‍රමයෙන් පෙට්ටියට වත්කලේය. පුදුමයකි ජලයෙන් පිරුණු පෙට්ටිය පිරී ඉතිරී ගියේය!!!!!! ගැමියන් විශ්මයටත් සතුටටත් පත්ව කෑ ගසද්දි අමුත්තා පලා යාමට උත්සාහ කලේය.
ගැමියන් විසින් අල්ලාගත් අමුත්තා පූජකවරයා ඉදිරියට ගෙන එන ලදි. අමුත්තා දෙස කරුණාවන්ත ලෙස බැලු පූජකවරයා “මිත්‍රයා… ඔබ විසින් මෙතෙක් වේලා භාවිතා කල බොහෝ මිනිසුන් ලග තිබෙන ලෝබකම තණ්හාව මට නැහැ. ඒ නිසා මට ඔබේ රන්කාසි මල්ල එපා. නමුත් ඔබ මේ අසරණ ගැමියන්ගෙන් ලබාගත් ඔවුන්ගේ රන්කාසි නැවත ඔවුන්ට දී ඔබ මේ ගමෙන් පිටවෙන්න”
අමුත්තා ඒ රන්කාසි ගැමියන්ට දී ඉතා ලැජ්ජාවෙන් පිටව ගියා.
ගැමියන් පූජකවරයා වටකොටගෙන විස්මයෙන් ප්‍රශ්න කරන්නට උනා.
“අපොයි අපි කෙතරම් උත්සාහා කලත් පිරී ඉතිරී නොගිය ඒ පෙට්ටිය ඔබතුමා එතරම් ලෙහෙසියෙන් ඉතිරෙව්වේ කොහොමද?”
මිනිසුන් දෙස කරුණාවෙන් බැලු පුජකවරයා මෙසේ පැවසුවා,
“දරුවනි, ඒ අමුත්තා කලේ ඔබ සැම තුල පවතින කිසිදා නොසන්සිදෙන ආශාව, තණ්හාව සහ ලෝබකම ප්‍රයෝජනයට ගැනීමයි. මිනිස් සිතේ නොනිමෙන ආශාව ලෙහෙසියෙන් පුරවන්නට බැහැ…. ඔබ කෙතරම් උත්සාහා කලත් ඒ පෙට්ටිය නොපිරුනේ ඒ නොනිමෙන ආශාව නිසයි”
ගැමියන් පුදුමයෙන් බලා සිටියා…..
“මා විසින් කලේ ඒ බාධකය ඉවත් කිරීමයි” පූජකවරයා සිනාමුසුව පැවසුවා
“ඒත් ඔබතුමා කොහොමද ඒ බාධකය ඉවත් කලේ? කොහේද එය තිබුනේ?” මිනිසුන් අසන්නට උනා.
තම අතේ තිබූ යමක් ගැමියන් සියල්ලටම පෙනෙන සේ අල්වාගත් පූජකවරයා ඔවුන්ට මෙසේ පැවසුවා,
“මෙය ඒ පෙට්ටිය පතුලේ සඟවා තිබුනා…. පේනවා නේද මෙය මිනිස් ඇසක්…. කිසිදා තෘප්තිමත් නොවෙන, ලද දෙයින් සෑහීමට පත් නොවෙන මිනිස් ඇසක්…. මෙවැන්නක් තිබෙන තාක්කල් කෙසේද ඒ පෙට්ටිය පිරි ඉතිරෙන්නේ???? මම එය ඒ පෙට්ටියෙන් ඉවත් කලා….. ”
ඔන්න ඕකයි කතාව…. මේක ජනප්‍රවාදයේ එන කතාවක්…. අපි කොයිතරම් තණ්හාවෙන් ආසාවල් පසුපස හඹාගෙන යනවාද….?
ඉතින් කතාව ගැන හිතුනු දේ සමනලීට කියලාම යන්නකෝ……..
සමනලි මේ පැත්තේ පියාඹන්නේ මාස දෙකකට විතර පස්සේ….. දීර්ඝ නිහැඩියාවක්. අනේ සමනලීව හැමෝටම අමතක වෙලා ඇති නේද? මොනා කරන්නද ඉතින් සමනලීට විභාගයක් තිබුනානේ….. සති 3ක් ඇතුලත විෂයයන් 15ක්ම තිබුනා. යුද්ධයක් කලා වාගෙයි….
දැන් විභාගේ නම් ඉවරයි ඒත් විභාග පැවරුම් කෝටියයි!!!! සමනලීට දැනෙන්නේ අත්තටු බැදලා දාලා හිරකරලා වගෙයි 😦 චිත්‍රයක් අදින්න, මැහුමක් ගෙතුමක් කරන්න, පොතක් කියවන්න… කිසිම දේකට වෙලාවක් නෑ…
සමනලී මේ පැත්තේ නාවත් සමනලීගේ ඉසව්වට ඇවිත් බලලා යන්න ඇවිත් තිබුනා හුගක් දෙනා, හැමදාමත් කවුරුහරි ඇවිත් තිබුනා…. අනේ ගොඩාක් ස්තූතියි ඒ හැමෝටම 🙂
මොනා උනත් දැන් හිතේ බර ටිකක් අඩුයි….. පැවරුම් සේරම ඉක්මනින් හොදටම නිම කරන්න සමනලී මහන්සි ගන්නවා. දැන් ආයෙත් සමනලීට බ්ලොග් පිටු අතරේ පියාසලන්න ඉස්පාසුවක් ලැබිලා…… ගොඩක් දේ තියෙනවා කියන්න….. ඔයාලා එක්ක බෙදා ගන්න….. සමනලී දන්නවා ඔයාලා හැමෝම සමනලි එක්ක ඉන්න බව…….
අමතක වෙලා නෑ නේද මේ පුංචි සමනලීව???
ඉතින් අපි ආයෙත් හමුවෙමු…. පුංචි සමනලීගේ පුංචි පුංචි කවි, කතා, සිතුවිලි සහ අත්දෑකීම් එක්ක
සුභ දවසක්….!!!
සමනලී තවත් භයානක කාලයකට සූදානම් වෙයි….!!
ඉතින් කොහොමද යාලුවනේ? සෑහෙන කාලෙකට පස්සේ නේද?
“ම්….. මේ කවුද මේ?? මෙහෙම කෙනෙක් අපි අදුරනවද හැබෑට…?” කට්ටියට දැන් එහෙම හිතෙනවා නේද? අනේ අපොයි සමනලීව අමතක වෙලා එහෙම නෑ නේද?
සමනලී කාලෙකින් බ්ලොග් පිටුව පැත්තේ පියෑඹුවේ නෑ…. හෝ ගාලා වහින වැස්ස නිසා සමනලීට සමනලීගේ කොම්පියුටර් යාලුවා ලඟ වැඩිය ඉන්න ලැබුනෙත් නෑ….. චුට්ටක් විතර සමනලීට වැඩත් වැඩි උනා නෙව මේ දවස් ටිකේ…..
ඉතින් ඔන්න ඉස්සරහට හරිම විනාසයක් තමයි වෙන්න යන්නේ ඕං….. අපොයි හරිම භයානක කාලයක් එන්න යන්නේ සමනලීට..!!!!!! අනේ සමනලී මේ භයානක කාලෙට මූණ දෙන්න දැන් තියාම සූදානම් වෙන්නයි හදන්නේ. අනේ මන්දා දැනටමත් කල් මදිද කියලා…. සමනලී හැමදාම ඔහොමයි… කල් මදි වෙනකල් ඉදලා ඊට පස්සේ ලහි ලහියේ මහන්සි වෙනවා….
දැන් ඒ භයානක අත්දැකීමට මුහුණ දෙන්න ගොඩක් දේ සූදානම්…. ඒත් තව වැඩ ඉතුරුයි…. ආයුධ සේරම ලෑස්ති කරගන්න ඕනා, කොයිතරම් පිරිසක් එක්ක එකට හිටියත් අන්තිමේ සමනලී තනියෙම තමයි අවසාන අවස්තාවට මුහුණ දෙන්න ඕන….
පුංචි කාලේ ඉදලාම හැමදාමත් මේ කාලෙට හොදින් මුණ දීලා ජීවිතේ දිනන්න සමනලීට අම්මායි තාත්තායි යෝධ ශක්තියක් වෙලා ඉන්නවා…… සමනලී වගේම එයාලත් ගොඩක් මහන්සි වෙනවා…. බලාපොරොත්තු තියාගන්නවා…. ඉතින් සමනලී මේකට මූණ දෙන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා එයාලගේ සතුට දකින්න ලොකු ආසාවකින්…..
දැන් සමනලී ලඟින්ම තවත් කෙනෙක් ඉන්නවා සමනලීට ශක්තියක් වෙලා…. “අනේ මට බැ, මට බැරිවේවි” කියලා සමනලීගේ හිත ආපස්සට යද්දි සමනලීට පුලුවන් කියලා සමනලීට සමනලී ගැන විශ්වාස කරන්න එයා උදවු වෙනවා….. සමනලීව සතුටින් තියලා ගොඩාක් ආදරෙන් සමනලීව පරිස්සම් කරනවා…. එයා තමයි සමනලීගේ අයිතිකාරයා…….
හැබෑට දැන් මොකද්ද මේ සමනලීට එළැඹෙන භයානක කාලය??? අනේ ඔන්න කට්ටිය හිනා වෙන්න එහෙම එපා මේක අහලා හොදේ?
සමනලීගේ විශ්වවිද්‍යාලේ තවත් එක වසරක අවසාන විභාගය ලඟ ලඟම එනවා!!!!!
ඔන්න ඔන්න හිනා යනවා නේද සමනලීගේ විභාග භීතිකාව අහලා? සමනලී හැමදාම සෑහෙන හොද සූදානමකින් විභාගයට මූණ දෙනවා ඒත් ටිකක් බයයි හිතට……. ඒකයි මේ…..
විශ්වවිද්‍යාලේ විභාග වලට හැමදාමත් වගේ මේ පාරත් හොදම ප්‍රතිපල ගන්න තමයි සමනලීගේ බලාපොරොත්තුව
ඉතින් එහෙනම් විභාගය ඉවර වෙනකල් සමනලී වැඩිය (සමහර විට කොහෙත්ම ) දකින්න නොලැබේවි සමනලීගේ ඉසව්වේ…..
විභාගය අවසන් වූ වහාම සමනලි එන්නම්….. එතකල් සමනලීව අමතක නොවේවි නේද?
හැමෝටම සුභ දවසක්……
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්…
ආකාස කුමරි ගෙල බැදි මාල පොට බිදින
සිලි සිලියේ වැහි පබලු මිහි මවගේ මුව සිඹින
සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන
අහස් කුස නෙක රටා ඇදි විදුලි රැස් විදින
අකීකරු කෙස් රොදත් සුළඟ හා රඟ දෙමින
වැහි බින්දු හෙමි හෙමින් කොපුල් තල මත දුවන
මුදු සේල එතී බඳ වටා ඇගෙ රුව වඩන
මුතු කුඩය යටින් හනි හනික දිව යන ගමන
මුදු සුළඟ එති එතී හමා යන නොතනියට
අදුරු නුබ වලා සේලෙන් වැසී ගිය පැයට
ගත සිතට සුව රැගෙන වඩින මුතු වැසි පොදට
පමා වනු නොහැක යන ගමන ඔහු දකින්නට
සැදෑ හිරු කිරණ යට ගෙවන්නට සිතූ පැය
විහඟ ගී නද මැදින් රඟන්නට පැතූ ඇය
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්
සොඳුරු වැස්සක ඇවිද යාවී අතිනත අරන්
ඔය කතා කරන ඇස්…..
අතීතයේ එක දවසක
ලෙංගතුකම හංගාගෙන
අහිංසකව මදෙස බලා හුන්
ඔය කතා කරන ඇස්……
මුවින් නොකී සෙනෙහස
පුරවාගෙන සුරැකිව
මවෙත ආදරෙන් රැදුන
ඔය කතා කරන ඇස්……
ඔය සිතේ ආල පැතුම් ඉටු වූ දින
මගේ හදේ නුඹ රජ වූ කල
වදන් නොවූ සතුට උතුරා ගිය
ඔය කතා කරන ඇස්…….
මගේ සිනා ලඟ හසරැල් මැවෙන
හඩා වැටුනු මසිත පතුල දකින
මගේ දුක් කදුලු ගෙන සිසල ඉසින
ඔය කතා කරන ඇස්……
විසල් ලොව නේක රුදු මාරුත මැද
මුදු බැල්මෙන් මට දිරිය දෙන
මට සෙවන දෙන මගේ සොඳුරු ඉම
ඔය කතා කරන ඇස්……
කතා කරන ඒ ඇස්පියන් යට සුරැකිව පියාසලන සමනලීගෙන් සෙනෙහසිනි……
අලුත් ඇදුම් ඇදන් සමනලී ඇවිත් නෑගම්……
ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ලැබුවා…… හැමෝගෙම මුණු වල සතුටු සිනා හෙම පිරිලා හරිම ලස්සනයි….. ම්…. ඔය.. ඔය බලන්නකො සිරියාව………
නැකැත් එහෙම බලලා චාරිත්‍ර කරලා අපි සේරම අවුරුද්ද පිළිගත්තා. සමනලී දැක්කා ලංකාවෙන් දුර ඈත රටක ඉදගෙන උනත් කට්ටිය කැවිලි පෙවිලි එහෙම හදලා ජයටම අවුරුදු සමරලා තිබුනා…. රයිස් කුකර් කිරිබත්, වැලි තලප, හත්මාලුව එහෙම හදලා තිබුනේ…… ඒ කට්ටියගේ බ්ලොග් පිටු දිහා බලන්නත් ආසයි ඕං …… රස වෑහෙනවා නෙව 🙂
දැන් කට්ටියම හිසතෙල් එහෙමත් ගාලා දීර්ඝායුෂ එහෙම ලබාගෙනනේ ඉන්නේ නේද? 19 වැනිදා වෙනකල් විතරයි අවුරුදු නිවාඩු…. ඒත් සමහරුන්ට ඒ තරම්වත් නිවාඩු නෑ……. නිවාඩු ඉවර වෙන්න කලියෙන් දැන් ඉතින් කට්ටිය ලහිලහියේ බුලත් හුරුළු, තෑගි බෝග අරන් නෑගම් යන කාලේ……. අලුත් ඇදුම් එහෙම ඇදලා…. පරණ තරහමරහා අමතක කරලානේ නෑගම් යන්නේ……..
ඉතින් ඔන්න සමනලීත් සයිබර් අවකාශේ ඔයාලගේ දිහාට පියාඹලා නෑගම් ආවා මෙන්න….. අලුත් ඇදුමක් එහෙම ඇදලා…… අවුරුද්දට අලුත් වෙන්න එපෑයැ නේද? සමනලි ඉතින් වැඩිය හැඩ වැඩ දාන්න දන්නේ නම් නෑ…. අනේ මන්දා අලුත් ඇදුම හොදද කියලා…….?
නෑගම් ආවා කියමුකෝ…. දැන් මොනාද සමනලී අරන් ආව තැගි…??? කෝ කෝ තෑගි…? ඒකනේ අවුරුද්දට හිස් අතින් එන්නේ කොහොමද? අනේ ඉතින් සමනලී කල්පනා කරලා බැලුවා මොනාද ගෙනියන්නේ කියලා….. අන්තිමේ සමනලී හිතුවා සමනලි අහපු පුංචි සුන්දර කියමන් ටිකක් ඔයාලට ගේන්න…..
- “ඔබ අමුවෙන් සිටින තාක් කල් වැඩෙයි. පැසුණු තැන සිට ඉදී කුණු වීමට පටන් ගනියි….”
- “සතුටින් සිටින තැනැත්තා මෙම සූත්‍රය දනියි…..
ඉඩ ප්‍රස්තාව = විවෘත බව + සර්ව ශුභවාදීභාවය “
- “මම බලාපොරොත්තු වෙනවා”, “සමහර විට මම” යන වැකි වෙනුවට “මම කරනවා” යන වැකිය යොදා ජීවිතේ වෙනස අත්විදි අය බොහෝය….
- “සිනහව හා මිතුරු වන්න… නිතරම සිනහ වන්න… උද්යෝගීමත් බව බෝවන්නකි…”
- “ජීවත් වීමට යමක් උපයා ගැනීමට වැඩි බොහෝදෙයක් වැඩ කිරීමෙහි තිබෙන බව ජයගත්තෝ දනිති…..”
- “උදාරතම ක්‍රියාව වන්නේ නොවැටී සිටීම නොව වැටෙන හැමවිටම නැගිටීමය”
- “ලෝකය දෙන්නන් ගෙන් හා ගන්නන් ගෙන් සමන්විතය. ගන්නන්ට වඩා හොඳ කෑම කන්නට පුලුවන…. එහෙත් දෙන්නන් වඩා හොදින් නිදියනු ඇත…..”
මේවා එක්කම සමනලීගේ මුලු හදවතින්ම කරන අහිංසක පැතුමකුත් තියෙනවා…..
“ජීවිතේ අලුත් අත්දෑකීම් එක්ක දුක සතුට සමව ලැබිලා හිතේ තියෙන පැතුම් ඉටු වෙන සුන්දර අලුත් අවුරුද්දක් වේවා…..!!!”
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කියනවනේ…… ඒ නිසා ඔයාලත් මේවා තව කෙනෙක් එක්ක බෙදාගන්නකෝ……
එහෙනම් සමනලී ගිහින් එන්නම්……. පරිස්සමින් නෑගම් යන්න…… හැමෝටම සුබ දවසක්……. 🙂
නව වසරේ මේ කවි පද ගෙතුනයි…. සමනලීගේ පැතුමන් ගෙන එන්නයි
තවත් සුන්දර අලුත් අවුරුද්දක් අභියස පුංචි සමනලී මේ ඉන්නේ……. ඉතින් අවටින් ගිගුම් දෙන රතිඤ්ඤා හඩ මැද පබැඳුනු මේ පුංචි සුබපැතුම ඔයාලා හැමෝටමයි……..
නැවුම් පැතුම් මල් හදවත උපදින
ඔබෙ නෙතු අද්දර විකසිත වන්නයි
මුවින් මුවට හසරැලි නිති පැතිරෙන
සතුට සපිරි වත නිබඳ දකින්නයි
උතුරායන කිරි පැණියෙන් සුභ වී
දිවිය ඔබේ සිරි අසිරි මැවෙන්නයි
රබන් සුරල් හඩ මැදින් එකලු වී
සාමය සමඟිය ලොව රජයන්නයි
හිත බිදි නොසතුට මකා දමා නිති
මිතුදම් හැඩවී සිත සැරසෙන්නයි
නව වසරක් මේ උදාවෙලා ඇති
වාසනාව සැම අත පැතිරෙන්නයි
කරන කියන සැම ජය ගෙන දෙන්නයි
යනෙන තැනක රැකවරණ ලැබෙන්නයි
නව වසරේ මේ කවි පද ගෙතුනයි
සමනලීගේ පැතුමන් ගෙන එන්නයි
සමනලීගේ පුංචි වෙබ් අවකාශයට සපැමිණි ඔබට සහ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් සැමට සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!
පාවෙනා නිල් වලාවක සැඟවුනු ඇගේ කැලුම්…. හිත රැදි ගීයක්
ඔන්න හැමෝටම වගේ සමනලීටත් ඉතින් අවුරුදු නිවාඩුනේ මේ දවස් වල….. ඒත් අවුරුදු සිරි අසිරි මැද නෑගම් ගමන් බිමන් අතරින් අනේ නිවාඩුව නොදැනීම ගෙවීගෙන යාවී ඉක්මනින්…….. නිවාඩුවේ සැහැල්ලුවෙන් ඉන්න ගමන් සමනලීගේ හිතේ රැදුනු ගීත කිහිපයක් හරිම ආසාවෙන් ආයේ ආයේ ඇහුවා….. ඇස් පියාන අහන් උන්නාම හිතට අපූරු විවේකයක් ගේනවා ඒ ගීත…….
ඉතින් ඇයි සමනලී ඒවා තනියෙම රස විඳින්නේ ඊටත් තෑගිබෝග බෙදාහදා ගන්න මේ අවුරුදු කාලේ…? නෑ නෑ…. සමනලී ඒ ගීත ඔයාල එක්කත් බෙදා ගන්නයි අදත් මේ ආවේ…. සමහර විට මේ ගීතය ඔයාලා ලඟ දැනටමත් ඇති…. ඕනා තරම් අහලත් ඇති….ඒත් මේවා කොයිතරම් ඇහුවත් එපා නොවෙන ගීත කියලයි සමනලීට හිතෙන්නේ…….
මේ ගීතය පණ්ඩිත් අමරදේව මහත්මයා ගායනා කරන අපූරු ගීයක්….. ගීතයේ අර්ථය වගේම බටනලා වාදනයක් එක්ක ඇහෙන සංගීතයත් හරිම මිහිරියි……..
පාවෙන නිල් වලාවක රිදී ජලාශෙක සැඟවුනු ඇගේ කැලුම් සොයන ඔහුගේ දෑස පාලු නිල් දියේ තනිවෙලා……. සිහින නිම්නයේ සැරිසරමින් ඒ අප්සරාවිය සොයන තුරුණු සිතේ පැතුම් ඈතට පාවෙලා…….
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාශේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුනාවේ
පාවෙනා නිල් වලාවේ…….
දියඹ සැලෙන තරඟ පෙලක
අතරමං වෙලා
පාලු නිල් දියේ තනිවෙලා
සොයමි රුව ඔබේ අප්සරාවියේ……//
පාවෙනා නිල් වලාවේ……..
තුරුණු සිතක පැතුම් වැලක
ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ….//
පාවෙනා නිල් වලාවේ……..
සිංදුව මෙතැනින් ගන්න….. අහලා රසවිදින්න තුරුණු සිතක පැතුම් වැල……
සිතුනු දේ සමනලීටත් කියලා යන්න……..
සුභ දවසක්….!!!!
කවියක් වූ සොඳුරු ජීවිතය…. හිත රැදුනු ගීතයක්
සමනලී කවි ලීවා….. සුන්දර පාසැල් කාලේ ගැන ලීවා…… හිත ගිය අපූරු කියමන් ගැන ලීවා….. සමනලීගේ මිහිරි බාල කාලේ ගැන ලීවා….. ඒ හැම සිතුවිල්ලක්ම ඔයාලා හැමෝම සමනලී එක්ක බෙදාහදා ගත්තා…. හරිම සතුටුයි සමනලීට ඒ ගැන 🙂
ඉතින් සමනලී අද හිතුවා සමනලීගේ හිත ගිය ගීතයක් ඔයාලා එක්කම රසවිඳින්න… මේක ටිකක් පරණ ගීයක්…. ජාතික රූපවාහිණියේ විකාශය වූ ගජමන් නෝනා ටෙලි සිත්තමේ තේමා ගීතය… ගායනා කරන්නේ විශාරද නන්දා මාලිනී මහත්මිය. මේ ගීතය මීට කලින් ඕනා තරම් අහලා ඇති…. ඒත් සමනලීට මේ ගීය කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ….
ජීවිතය කවියක්….. පසුපසින් හමා එන දුක අතවර අඩුවක් නැතිමුත් ඉවසා දරා ගෙන සිටින විට ඒ දුකම තනි වූ හිතට වද දෙන……
සෙනෙහසින් ලඟ රැදියවුන් නොකියාම ඈතට ගිය දාට දුක ඉවසා දරාගෙන ඒ තනිකම මකන්නට කවුරු නම් ලං වේදැයි මඟ බලන ජිවීතය කවියක්……
ඒකාකාරීව ගලනවාට වඩා, හැමදාම හසරැල්ලෙන්ම පිරෙනවාට වඩා කඳුලැලි පොදක් ඉහුණාම පෙර නොවිදි රසයක් දැනෙන කවියක් ජීවිතය….. ආදරය එක සොඳුරු වදනක් වූ අපූරු කවියක් ජීවිතය…..
ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිදි රසයක්…..
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා
හැඟුම් අවදිව නැගේ තනිකම
ජීවිතය කවියක්…….
සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට
ජීවිතේ කවියක්…….
සිංදුව මෙතැනින් ගන්න පුලුවනි…… ඔයාලත් අහලා රසවිඳින්න ජීවිත කවිය…….
ගීතයෙන් හිතේ මැවුන සිතුවිලි සමනලීටත් කියලාම යන්න……