Skip to content

සමනලීගේ කියවිල්ල සහ නැන්දා….

2010 මාර්තු 7

මේක සමනලී පොඩි කාලේ වෙච්චි දෙයක්…. මාලුවා නහින්නේ කට නිසා කියලා ඔයාලා අහලා ඇතිනේ? දවසක් සමනලීටත් කට නිසා පොඩි අකරතැබ්බයක් උනා…. මේ කතාව ඒ ගැනයි…

පොඩි කාලේ සමනලි කතාව‍ට හරි දක්ෂයි. සමනලීගේ අම්මා හවස වැඩ ඇරිලා ආපු වෙලේ පටන් සමනලී පටන් ගන්නවා උදේ ඉදන් වෙච්ච හැමදේම විස්තර කරන්න. කියවනවා කියවනවා ඉවරයක් නෑ…… පන්තියේ වෙච්ච දේවල්, යාලුවෝ කීව දේවල්, පාරෙ එද්දි දැකපු දේවල්….. සමනලීට කතා කරන්න ගියාම ඕනා තරම් මාතෘකා තියෙනවා…. කටට නිවනක් නෑ සිරස FM වාගේ…. 😀 සමනලීගේ බාප්පා එහෙම විහිලු කරන්නේ “මෙයා ලග සතියක් තිබ්බොත් එහෙම ගොලුවෙක් උනත් කතා කරයි” කියලා.

අම්මාටත් මහන්සිවෙලා ගෙදර ආවම කනක් ඇහිලා ඉන්න නෑ ඉතින්. ආ…… අමතක උනානේ කියන්න.. ඔය තොරතෝංචියක් නැති කියවිල්ලේ තාත්තා ගැන කේළාම් එහෙමත් තියෙනවා… තාත්තා බැනපුවා, විහිලු කරපුවා, ඉල්ලපු දේවල් අරන් දුන්නේ නැති ඒවා…. ඒ විතරක්ද රූප පෙට්ටියේ පෙන්නන සමහර කෑම ජාති කනවට සමනලීගේ අම්මා ආසා නෑ (දන්නැද්ද පොඩිකාලේ ඇඩ් වලට ඇදිලා ගිහින් සොසේජස් එහෙම කන්න ආසයිනේ…..) වැඩේ තියෙන්නේ සමනලීගේ තාත්තත් ඒවට ආසයි. ඉතින් අම්මාට හොරෙන් ගෙනත් හදනවා, සමනලීත් රස කර කර කාලා අර අම්මා එක්ක කියවගෙන යද්දි කටට ‍බ්‍රේක් නැතිව ඒවත් කියනවා….. (තාත්තත් අමාරුවේ වැටිලා අන්තිමට 😛 ). අනේ අම්මා ඉතින් බොහොම ඉවසීමෙන් අහන් ඉන්නවා සේරම. (අම්මා එහෙම කරපු එකෙන් අම්මා සමනලීට යාලුවෙක් වාගේ කිට්ටු උනා)

කෝ දැන් ඉතින් වෙච්ච අකරතැබ්බේ නෙවෙයිනේ සමනලී වෙන වෙන ඒවනේ කියන්නේ………

ඉස්සර ඉස්කෝලේ නිවාඩුවට නැන්දාගේ ගෙදර නැවතිලා ඉන්න හරි ආසයි සමනලී. හැබැයි නැන්දාගේ නීතියක් තියෙනවා, ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ එහෙම අරන් එන්න ඕනා එනකොට. සමනලීටත් නොදැනිම නිවාඩුව යද්දි ඒ වැඩත් කරවලා ඉවරයි නැන්දා. මේක සිද්ධ උනේ සමනලී 3 වසරේ වසර අවසාන නිවාඩුව‍ට නැන්දාගේ ගෙදර නැවතිලා ඉද්දී. home work එහෙමත් නෑනේ අවුරුද්ද අග නිවාඩුවේ. නැන්දා සුපුරුදු විදියට කුස්සියේ උයනවා. නැන්දයි සමනලීයි විතරයි ගෙදර. සමනලීටත් කම්මැලියි. ඒ පාර කුස්සියට ගිහින් මේසේ ලගින් වාඩි වෙලා සමනලී බලන් ඉන්නවා නැන්දා උයන පිහන හැටි. දන්නවනේ ඉතින් සමනලීට කට පියාගෙන ඉන්න පුලුවන් උනේ බොහොම ටික වෙලාවයි……. හෙමින් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ පටන් අරන් පැයක් හමාරක් යද්දී සමනලී හෝ ගාලා කියවනවා නැන්දා එක්ක. නැන්දා එක්ක කීවට මොකද සමනලී කියවන ඒවට “ම්.. ඔව්… හා… ” වගේ උත්තර දෙන එක තමයි නැන්දා කලේ… (පොඩි ළමයි ඔය කියවන ඒවා ඇත්තටම අහන් ඉන්න කම්මැලියි නේ)

පැය දෙකක් විතර ගිහිනුත් සමනලීගේ කියවිල්ලේ ඉවරයක් නෑ…. (අඩු ගානේ commercial break එකක් වත් නෑ) දැන් නැන්දා‍ට එපා වෙලා මේ non stop කියවිල්ල. නවත්වන පා‍ටකුත් නෑ, බනින්නත් බෑ පොඩි කෙල්ල පවු නිසා……. ඉවසලා බැරිම තැන නැන්දා සමනලීගෙන් ඇහුවා මෙහෙම

“පුතේ අක්කාගේ මේස උඩ කතා පොතක් තිබුනා නේද? මගෙ හොද පුතා වගේ ගිහින් ඒක අරන් එන්නකො”

සමනලීත් රූං ගාලා ගිහින් ඒ කීව පොත අරන් ආවා. සමනලීට මතක හැටියට ඒ අඹ යහලුවෝ පොත. දැන් පොත ගෙනාවා කියමුකෝ…. නැන්දා ඊලගට මෙ‍හෙම කියාපි..

“අනේ පුතේ මම ඔය කතාව දන්නේ නෑ…. හොද පුතා වගේ නැන්දාගේ වැඩ ඉවර වෙනකල් පුතා නැන්දා‍ට ඇහෙන්න හයියෙන් ඕක මුල ඉදන් කියවන්නකො”

මුලදි නම් සමනලී හිතුවේ නැන්දාවත් දන්නේ නැති කතාව නැන්දාට කියන එක බොහොම ගරු කටයුතු වැඩක් කියලා. ඉතින් සමනලීත් හොදට හිතට අරන් වැඩේ පටන් ගත්තා. දැන් ඒකේ කියවගන්න බැරි වචන එහෙම එනවා පෝලිමේ…. සමනලීත් අතාරින්නේ නැතුව යාන්තම් අටවගෙන ඒවත් කියවනවා… එච්චර ලොකු වැඩක් දුන්නාම දන්නෑ කියන්න නෝන්ඩිනේ….. කොහොමහරි තවත් පැයක් විතරක් යද්දි සමනලීට හොද ගනන්…. කට එහෙමත් රිදෙනවා…  මාර වැඩේ දැන්…. සමනලීට පොත කියවිල්ල එපා වෙලා….. ඒත් නැන්දානම් “ඉතින්?” කියලා අහගෙන වැඩ කරනවා.. හරියට රේඩියෝ නාට්‍යයක් අහන ගමන් වැඩ කරනවා වගේ…… තවත් පිටු 10ක් විතර අමාරුවෙන් කියෙව්වා….. හපොයි තවත් නම් බෑ……

සමනලී හෙමීට නැන්දා දිහා බැලුවා.

“නැන්දේ…”

“ඇයි පුතේ?”

“කතාවේ ඉතුරු ටික හෙට කියන්නම්?” කට රිදෙනවා කියන්න ලැජ්ජා නිසා සමනලී ඇහුවේ එහෙමයි….

“ආ… පුතාට මහන්සිද? හා හා කමක් නෑ හෙට කියන්නකෝ එහෙනම්”

මගේ අම්මේ යාන්තම් ගැලවුනා….. වෙච්ච සන්තෑසියේ හැටියට පහුවෙනිදා සමනලී නැන්දා ගෙදර දොර වැඩ කරන පැත්ත පළාතේ ගියේ නෑ non stop කියවන්න. ඇයි ඉතින් නැන්දට අර කතාවේ ඉතුරු ටික අහන්න ඕනා කියලා මතක් උනොත් එහෙම…….?

මේ මෑතකදි නැන්දා ඔය කතාව රස කර කර කියද්දී තමයි සමනලීටත් එහෙම උනා කියලා මතක් උනේ…. පොඩි කාලේ සමනලී හිතන් උන්නේ නැන්දා සමනලීට එදා දුන්නේ වැදගත් වැඩක් කියලා…. දැන් නැන්දා කීවාම තමයි සමනලී දන්නේ නැන්දා ඒක කලේ අර commercial break නැති සමනලීගේ පොඩි කාලේ කියවිල්ල නවත්තගන්න එහෙම කලේ කියලා…….

ඔන්න ඔහොමයි සමනලී කට නිසා අකරතැබ්බයකට මූණ දුන්නේ….. මේක කියවන ඔයාලටත් පොඩි කාලේ ඔය වාගේ අකරතැබ්බයන් වෙලා තියේ නම් ඒවත් කියලාම යන්නකො. සමනලීත් ආසයි ඒවා බෙදාහදා ගන්න………….

Advertisements
ප්‍රතිචාර 28 leave one →
  1. 2010 මාර්තු 7 ප.ව. 6:42

    පොඩි අයගෙ කතා අහගෙන ඉන්න එක වගේම තමයි පොඩි අයට කතා කියලා දෙන එකත්. මෙන්න කතන්දර කියලා දෙන්න ගිහින් මට වෙච්ච වැඩක්

    http://status-chanaka.blogspot.com/2009/12/blog-post.html

    • 2010 මාර්තු 7 ප.ව. 6:54

      හී හී… 🙂 ඔහොම වැඩ සමනලීටත් වෙලා තියෙනවා මල්ලිට කතා කියලා දෙන්න ගිහින්. මල්ලි චූටි කාලේ රටේ නැති තේරුමකුත් නැති කතා හදලා කියනවා… (ඒවා එයාට කියලා දීලා තියෙන කතා වල remix version. අච්චාරු වාගේ) සමනලීත් අමාරුවෙන් “හා… ඉතින්?” කියලා බොරුවට අහගෙන ඉන්නවා….. මෙන්න බොලේ අන්තිමේදි එයා කීව කතාව ආයෙත් එයාට කියන්නලු!! අර අච්චාරු වාගේ කතාව කාටද මතක හිටින්නේ???? ඒත් එයාට මතකයි එයාගේ remix නිර්මාණෙ. ඉතින් අපි කතාව වැරැද්දුවත් එයාට ඩෝං යනවා, මතක නෑ කීවමත් ඩෝං යනවා….!!!! 😀

  2. 2010 මාර්තු 7 ප.ව. 7:12

    රවාගෙ ජිවිතෙ ඔය වගෙ කතන්දර ගොඩාක් තියනවා… රවා එව්වා බ්ලොග් එකෙ දායි, සමනලීත් එහෙන් මෙහෙන් පියාබලා යද්දි එවත් හමුවෙයි… වැඩිහිටියන් තමයි අපෙ රැකවල්ලු.. එයාලා තමයි අපිව නිර්මානය කරන්නෙ,… සමනලි මම මෙක ආසාවෙන් කියෙව්වෙ…

  3. 2010 මාර්තු 7 ප.ව. 7:39

    ස්තූතියි රවා…!
    ඇත්ත වැඩිහිටියන්ගේ රැකවරණය ආදරය මැද තමයි දරුවෙක් තමාගේ ලෝකේ ගොඩනගන්නේ.
    රවාගේ ඒ පොඩි කාලේ සුන්දර මතකයන් බ්ලොග් සටහන් අතර තියන්න…. සමනලී පියාඹන්නම්කො ඒවා බෙදාහදා ගන්න…..

  4. 2010 මාර්තු 7 ප.ව. 8:13

    පොඩි එකෙක් එක්ක කතා කරනකොට අපිත් ඒ මට්ටමට ගිහින් කතා කරන්න ඕන. ඒක මේ පොඩි එකාව අන්දන්න කරන දෙයක් විදියට නැතිව, බොක්කෙන්ම පොඩි එකා එක්ක කතා කරන්න ඕන.

    මොකද ඔබට වැදගත් නැති උනාට ඒ පොඩි එකාට ඒව ඉතාම වැදගත් දේවල් නිසා, අපි යම් වැදගත් දෙයක් කියන කොට ඇසිය යුත්තන් ඒක ගණන් ගන්නෙ නෑ කියල දැනුනම ඇතිවන හැඟීම තමයි ඒවෙලාවට පොඩි එකෙකුට ඇතිවෙන්නේ, ඒක කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි.

    ඒ මට්ටමට ගිහිල්ලා හිතන්න පුරුදු වුනොත් කවදාවත් පොඩි එවුං කියන ඒව කම්මැලියි කියල හිතෙන්නෙ නෑ. හිතේ එකක් තියාගෙන තව එකක් කියන “වැඩිහිටියෝ” එක්ක කතා කරනවට වඩා බොක්කෙම්ම කතා කරන පොඩි එකෙක් එක්ක කතා කරන එක හොඳ නැද්ද?

    • 2010 මාර්තු 7 ප.ව. 11:03

      ඇත්ත බුද්ධාජීව අයියේ…. ඒකනේ සමනලීගේ අම්මා සමනලීගේ තොරතෝංචියක් නැති කියවිල්ල ඉවසාගෙන අහන් හිටියේ…. අහන් හිටියා විතරක් නෙවී කියන ඒවට comment එහෙමත් දුන්නා. ඒ කාලේ වගේම අදත් සමනලී ඉඩක් ලැබුනු ගමන් අම්මා ගෙදර දොර වැඩ කරද්දි ලගට වෙලා කියවනවා… ඒත් ඒ කතාවල් පොඩි කාලේ කතා වගේ නෙවී. සමනලී කතා කරන එක එක මාතෘකා ඔස්සේ පාරවල් හදාගෙන අම්මා සමනලීට සමාජෙ ගැන, මිනිස්සු ගැන කියාදෙනවා…අම්මාගේ අත්දැකීම් සමනලී එක්ක බෙදාගන්නවා. ඒක හරියට යෙහෙළියන් දෙදෙනෙක්ගේ රසබර වාගේම හරවත් සාකච්චාවක් වාගේ. අද ඒ වාගේ සුන්දර අත්දැකීම් සමනලීට ලැබෙන්නේ පොඩි කාලේ අමිමා සමනලීගේ සිතුවිලි වලට කන් දීම ප්‍රතික්ෂේප නොකරපු නිසයි…….

  5. 2010 මාර්තු 7 ප.ව. 8:30

    නියමයි..
    😀

  6. 2010 මාර්තු 7 ප.ව. 8:36

    එලකිරි අපේ පොඩි දූගෙ (මගේ නෙමේ අයියගේ) කියවිල්ල නවත්තන්න බලන්න ඕනෙ මේ ක්‍රමෙන්

    • 2010 මාර්තු 7 ප.ව. 11:15

      අනේ පව් තරිඳු… පොඩි අයගේ කියවිල්ල නවත්වන්න ඕනා අවශ්‍යම අවස්තාවකදී විතරයි…. එයාලගේ නිදහස් සිතුවිලි වචන වලට පෙරලන්නත් ඉඩක් දෙන්න…. 🙂

  7. 2010 මාර්තු 7 ප.ව. 8:37

    සමනලීගෙ දිගටම කියවන පුරුද්ද තවම ගිහින් නැහැ මම හිතන්නෙ.. 🙂 මොනව උනත් නැන්දා මොලේ පාවිච්චි කරලා එදා වැඩකරේ නැත්නම් ගොඩ දෙනෙක් අද වෙනකොට අමාරුවේ, වැඩියෙන්ම සමනලීගෙ බාරකාරයා. 😀

    • 2010 මාර්තු 7 ප.ව. 11:22

      හී හී…. සමනලී ලියන්න ගියත් කෙටියෙන් ලියන පුරුද්දක් නෑ නේද? සමනලීගේ පෝස්ට් එකෙන්ම තේරෙනවානේ ලියන්න ගියාම මෙහෙම නම් කියන්න ගියාම තරම……..
      ආ……කට්ටිය හිතන් ඉන්නේ සමනලීගේ අයිතිකාරයාටත් මේක වදයක් වෙයි කියලා නේද? 🙂 🙂 සමනලී හිතුවෙත් එහෙමයි මුලදි…. ඒත් එයා මේ ‍තොරතෝංචියක් නැති සමනලීගේ කතාව‍ට ආසයි….. එතකො‍ට පාලු නෑ කියලයි අයිතිකාරයා කියන්නේ…. 🙂

  8. Randika Sedara permalink
    2010 මාර්තු 7 ප.ව. 9:48

    හිහි… මා ඔබ සමග එකග වෙමි සමීර

  9. 2010 මාර්තු 7 ප.ව. 10:39

    සමනලී, මාවත් නං අම්බානක කස්ටිය ඒදවද් වල අන්දලා තියෙනවා. ඔයාගේ ඔය කියවන ලෙඩේ දැං හොදද? මගේ නදීශා ට නං තාමත් ඔය ලෙඩේ හොද කරගන්න බැරි වෙලා තියෙනවා. මාව දැක්ක වෙලේ ඉදං කියවන්න පටන් ගන්නවා. මං හිතන්නේ ඔයාලගේ නැන්දව හරි අඹ යාලුවො පොත හරි දෙන්ඩ වෙයි වගේ නේද?

    • 2010 මාර්තු 7 ප.ව. 11:27

      ඉතින් නදීශාත් සමනලී වාගේ වෙන්න ඇති…. 🙂 කොච්චර හොදද?
      ඔයාලා ඔහොම කීවට නදීශා දවසක් කතා නොකර හිටියොත් ලොකු පාලුවක් දැනෙන්නෙත් ඔයාටමයි….. එදාට ඔය කතා නෑ 😛

  10. 2010 මාර්තු 7 ප.ව. 11:54

    හරිම ලස්සනයි සමනලී. නම වගේම ඔයා ලියන ලිපිත් හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් කියවනවා. හරිම ලස්සන ඒවගේම සරල විදියට ඔයා ලියනවා. දිගටම ලියන්නකෝ..
    මේ සමනලීනම් ඇත්තටම හරිම හුරතල් දගම දග ලමයෙක් වෙන්න ඇති නේද? දගයි කියලා මං කීවෙ නපුරැ දග නෙමෙයි. හුරතලේට කරන දග වැඩ ගැන. 🙂

  11. මාරයාගේ හෝරාව permalink
    2010 මාර්තු 8 පෙ.ව. 8:18

    අපේ ලොකු අම්මත් ඉස්සර ඔය ගේම් දෙනවා මාරයාට..
    ඒත් අන්තිමෙදී ගෙදර පොත් රාක්කවල තිබුනු පොත් ඉවර වෙලා පස්සේ පුස්තකාලවලින් පවා පොත් ගෙනල්ලා දීලා ලොකු අම්මට ඉවරයක් තිබුනේ නැහැ.

    ලස්සන කතාව…

  12. වැප් permalink
    2010 මාර්තු 8 පෙ.ව. 11:41

    එළකිරිස් … කෙල්ල කියවන්න විතරක් නෙමෙයි ලියන්නත් දක්ෂයි .. [ කෙල්ල කිව්වට තරහ අවසර ]

  13. 2010 මාර්තු 8 ප.ව. 10:55

    සමනලීගේ කතාව සහතික ඈත්තලු – මේක බලපු නදීශා මට​ම කියලා ටයිප් කරවා ගත්තා

  14. 'sulaga' permalink
    2010 මාර්තු 10 ප.ව. 5:42

    මම නම් හරි ආසයි අර බහතෝරන වයසෙ ලමයි කියන කතා අහන්න…
    වචන වරද්ද වරද්ද අමාරුවෙන් කියවන ඒව නම් මරු…

    මම හිතන්නෙත් මොනව ලමයි කියෙවුවත් කතාකරන්න දෙන්න ඕනෙ කියල නේද?

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: