අන්තර්ගතයට පනින්න

සමනලී ඇසූ කතාවක්.....

වෛරයෙන් හා ඊරිසියාවෙන් පෙලීම බොහොමත් භයානකය.... එයින් තමාම විනාශ වන බව තමාටවත් නොදැනීම එහි විනාශකාරී ස්වභාවය වැඩි කරයි

ඉවුම් පිහුම් කතා….

2012 අගෝස්තු 14

දැන් කාලේ ගෑණු ළමයි උයන්න දන්නේ නැති එකගැන අපේ ආත්තම්මලා එහෙම හරිම විස්සෝපෙන් ඉන්නේ. ලගදි දවසක තරුණ වයසේ ගෑණු ළමෙක් එයාගේ ගමේ ඉදන් එක්කන් ආපු ආත්තම්මා එක්ක ඔය සුපිරි වෙලද සැලකට ගොඩ උනා. කෙලවරක රාක්කයක් පුරෝලා තියෙන එළවලු කන්දරාව දිහා ආත්තම්මා විමසිල්ලෙන් බලා ඉදලා මහා හයියෙන් මිණිබිරියට මෙන්න මෙහෙම කියාපි:

“ඒකයැ දුවේ, මම දැනුයි දන්නේ දුව හරියකට එළෝලුවක් තෝරගන්ට ඒක හරිහමන් විදියට සුද්ද කොරල කපාගන්ට දන්නේ නැති වෙන්ට කාරණාව… මේ විදියට එළෝලු සුද්ද කොරලා කපලා කොටලම පැකට් ගහල විකුණන එක තමයි දැන් කාලේ ගෑණු ළමයින්ට හෙනේට හිටින්නේ ඕං….”

-=-=-=-=-=-=-=-

ඉවුම් පිහුම් කලාවත් තාක්ෂණේ එක්කම අලුත් වෙවී යනව නෙව. ඒත් තාක්ෂණේ හරියට දන්නේ නැති උනාම ඇබැද්දි තමයි ඉතින්. මේ සිද්ධිය උනේ ලංකාවට ගෑස් කුකර් ආපු අලුතම. පිටරට සේවය කරලා නිවාඩුවට ලංකාවට ආපු තරුණයෙක් ගෑස් කුකර් එකකුත් අරන් ආවා. දැන් ඕක ගෙදර ගෙනත් කොටස් ටික පිලිවෙලට හයි කරලා එහෙම තමුන්ගේ ප්‍රිය බිරිදට කතා කරලා කියා දුන්නා ඒක ඔන් කරන හැටියි ඕෆ් කරන හැටියි.

මේක හරිම ලේසියි දර ලිප වගේ කරදර නෑ. ඔන්න බලන්ට මෙහෙම පත්තු කලා ආයේ මෙහෙම නිව්වා… වෙන මුකුත් නෑ එච්චරමයි කරන්ට තියෙන්නේ…

ඒ අස්සේ යාලුවෙකුත් ගෙදරට ගොඩවෙච්චි මේ තරුණයට එයා එක්ක පොඩි ගමනක් යන්ට සිද්ධ උනා.

Image

අලුත ගෙනා ගෑස් ලිපෙන් උයන්ට දැන් මේ ගෙදර නැන්දම්මයි ලේලියි ඒ කිව්වේ තරුණයගේ අම්මයි බිරිදයි පුල පුලා බලා සිටි අවස්ථාව උදා උනා. රෑට කන්ට පරිප්පු හොද්දක් හදන්ටයි දැන් ලෑස්තිය. පරිප්පු ටික සෝදලා ගරලා, ඕනා කරන කලමනාකාරිය දාලා දිය කිරි ටිකත් දාලා තැම්බෙන්ට කියලා නමෝ විත්තියෙන් තිබ්බා ගෑස් ලිපේ. විනාඩි 5ක් 6ක් යද්දි කිරිටික හිදිලා ගියා. පරිප්පු තැම්බෙන්ට හිතලවත් නැහැ. “අනේ අම්මේ කිරි දැම්මා මදිද කොහේද?” ලේලි එහෙම කිව්ව පරක්කුවට නැන්දම්මා පොල් ගාලා අලුතින් කිරි මිරිකලා දුන්නා. ඒත් ආයේ බලද්දි කිරි ටික හිදිලා.

“අනේ මන්දා මේවයේ උයන්ට කිරි ගොඩාක් ඕනා වගෙයි. දුවේ ඕකේ ගින්දර අඩුකරන්ට එහෙම බැරිය?”

“ම්… ඒක තමයි අම්මේ. එයා පෙන්නුවේ නම් මේක පත්තු කරන්ටයි නිවන්ටයි විතරයිනේ. අඩුවැඩි කරන්ට බෑ මයෙහිතේ”

දැන් ඔන්න එහෙම කිය කිය නැන්දම්මයි ලේලියි පොල් ගානවා, කිරි මිරිකනවා, ඇතිලියට දානවා, ඒ ටික සුටුස් ගාලා හිදෙනවා. ආයෙත් පොල් ගානවා, කිරි මිරිකනවා, ඇතිලියට දානවා,හිදෙනවා….. නියම ඉවිල්ල… පැයකටත් එහා මේ දෙන්න කුස්සියේ ඉදන් මේ යුද්දේ කරන අතරේ අර තරුණයා ආයේ ගෙදරත් ආපි. අනේ එතකොට තමයි දැනගත්තේ ගෑස්ලිපේ ගින්දරත් අඩුවැඩි කරන්ට පුලුවන් බව……

-=-=-=-=-=-=-=-

මේක නම් සිද්ධ වෙලා තිබුනේ සමනලීගේම නැන්දල දෙන්නෙකුට. ඔන්න පොඩි නැන්දගේ මහත්තයා එයාලා බැදපු අලුත ගෙනැත් දුන්නා ගෑස් අවන් එකක්. දැන් ඉතින් ලොකු නැන්දටයි පොඩි නැන්දටයි ඉවසිල්ලක් නැහැ මේකෙන් කේක් ගෙඩියක් හදල බලන්ට. ටවුමට ගිය වෙලාවේ අඩුම කුඩුම ටික අරන් ආවා. ඒකත් ඔය සුපශාස්ත්‍ර පොතක තිබ්බ එකක මතකෙන්.

දැන් ඒ පොතත් පෙරළගෙන දෙන්න එක්ක වැඩේ පටන් ගත්තා. තෙල් කඩදාසි එලපු තැටිය පැත්තකින් තිබ්බා. පිටි ග්‍රෑම් “250 යි සීනී ග්‍රෑම් 250යි ….” අප්පච්චියේ පෙරුම් පුරාගෙන කේක් හදන්ට ගියාට මොකද මේවා කිරන්ට තරාදියක් හෙම ගෙදර නෑ කියලා මතක් උනේ එතකොටයි. දැන් මක්කරන්ටද…. මේ තරම් ආසාවෙන් හදන්ට ගත්තු එක නවත්තන්න දුකයි. ඒත් ලොකු නැන්දට මතක් උනා ලේසි ක්‍රමයක්.

“ආ…. දෙකෙන්ම එක සමාන ප්‍රමාණනේ ගන්න ඕනි. අපි මේ එකම කෝප්පෙන් දෙකම මැනල ගමු”. ඔන්න ඕකයි විසදුම.

Image

දැන් ඉතින් දෙන්නා එක්ක ඒ ක්‍රමේට මැනල පිටි සීනි බටර් බිත්තර දාලා, ඒවා බීට් කරලා අනලා වනලා අන්තිමට තැටියට වත්කලා. පොතේ හැටියට අවන් එකත් රත්කරලා කේක් තැටිය ඒක ඇතුලට වඩම්මලා දැන් දෙන්න එක්ක ඔරලෝසුවේ කටු ගැන ගැන ඉන්නවා උණු උණු කේක් කන්ට.

වෙලාව හරිගිය ගමන් කේක් තැටිය ගත්තා එලියට. ටිකක් නිවෙන්ට අරින්ට ඕනි නිසා ඒකටත් තිබ්බා. දැන් ඉතින් පිහිය අරන් කේක් කපන්ටයි ලෑස්තිය. ඉතින් කපනවා කපනවා කපලා කෙලවරක් කරගන්ට බෑ…. “නංගි ඔයා ඒ කෑල්ල ඇදලා ගන්න බලන්ට…. ” ඉතින් පොඩි නැන්දත් කේක් කෑල්ල අදිනවා අදිනවා දිගටම ඇදෙනවා මිසක් ඒක වෙන් වෙන්නෙත් නෑ.

හත්වලාමේ මේ මක්කැයි උනේ කියලා හිතල බලද්දි තමයි දෙන්නට වැඩේ තේරුණේ. සීනියි පිටියි සම සමව ගන්න සීනි කෝප්පයයි පිටි කෝප්පයයි එකම කෝප්පෙන් මැනල දැම්මට මොකෝ මේ දෙකේ ස්ක්න්ධයයි පරිමාවයි කියන්නේ දෙකක් බව දෙන්නටම අමතක වෙලා! සමාන පරිමා මිසක් සමාන බර යෙදිලා නෑ, ඉතින් කේක් එකට සීනි මහ ගොඩක් එකතු උනා.. ඒ සීනි උණු වෙවී හැදුනු කේක් ගෙඩිය කැපුවාම නූල වගේ ඇදෙනවා මිසක් කැපෙන්නේ නෑ….

විභාග ගැන පුංචි කතා…..

2012 අගෝස්තු 13

මේ දවස් වල ඉතින් විභාග තියෙන කාලේ….. උසස් පෙල ලියන නංගිලා මල්ලිලා නම් දැන් උපරිම ලෙස කටපාඩම් කරපුවා පැය 3න් ලියාගෙන යනවා. ඉතින් සමනලීට මතක් උනා විභාග ගැන පුංචි පහේ කතා දෙකක්…..

ඔය විභාග වල කොපි කිරීමේ කලාවක් තියෙනව නෙව…. ඕක කලාවක්ය කීවේ සමනලී නෙවී, ඒ කලාව ප්‍රගුණ කොට මහත් පල ප්‍රයෝජන ගත් ඇත්තන් තමයි එහෙම කියන්නේ. සමනලීගේ ගුරුතුමියක් දවසක් මෙන්න මෙහෙම කතාවක් කීවා….

“අපොයි පිරිමි ඉස්කෝලෙක විභාග ශාලාවෙ රාජකාරි කරන එක හරිම අමාරුයි අනේ…. ඔන්න ගෑණු ළමයින්ගේ නම් එහෙම නෑ“

ඔන්න පිරිමි ළමයින්ගේ මූණ නරක් උනා ඉතින්…… “ඇයි මිස් ඒ?“

නෑ මේකනේ කාරණේ…. පිරිමි ළමයි හරිම හිත හොද ළමයි, මම ගොඩවෙනවා කියලා නෙවී අපි සේරම ගොඩ වෙමු කියලා සහයෝගෙන් කොපි කරනවා….. අපිට ඉතින් ඇස් අයින් කරගන්න විදියක් නෑ කොයි වෙලේ කොපි කරයිද කියල…..ඒත් ගෑණු ළමයි එහෙම නෑ…. අනිත් හැමෝම පහු කරන් මම විතරක් ඉස්සරහටම යන්න ඕනා කියලා හිතන් ලියන්නේ, එක උත්තරයක් පේන්න තියාගන්නේ නෑ වෙන කාටවත්…… ඉතින් අපිට ලේසියි…..

අනේ ඉතින් ගෑණු ළමයින්ගේ මූණ නරක් උනා ඒ පාර……………..

-=-=-=-=-=-=-=-

විහාග ගැන කතා කරද්දි තවත් පුංචි විභාග කතාවක් මතක් උනා… මේ සිද්ධිය උනේ මෑතකදී තිබුනු විදේශ සේවා විභාගයේදී.  මේ විහාගේ එක්තරා ශාලාවක ප්‍රධානියා විදියට කටයුතු කලේ මැදිවියේ මහත්මයෙක්. ඒත් ඒ ශාලාවේ එක් එක් කොටස් භාරව උන්නේ තරුණ පිරිසක්. දැන් අර ප්‍රධානියාගේ වැඩේම දිගට හරහට උපදෙස් දෙන එක…

කෝ කෝ අර පේපර්ස් ටික ගේන්න…. අයියෝ ඔය මොනාද කරන්නේ? කෝ ගැන්නද? ගැන්නද? කීයද? අපෝ ඕක ඔතන තියන්න එපා මෙහෙට ගේන්න…. කෝ මිස් ඔයාගේ පේපර්ස් හරිද? මේ මේ මෙහාට ගේන්න මෙහාට…. කෝ කෝ හරිද හරිද?

ඔන්න ඔය වගේ එකම එක කාලගෝට්ටියයි එතැන!! බොහොම කඩිසරව පිලිවෙලට වැඩ කරන පිරිසක් මේ ප්‍රධානියා මෙහෙයවන්නේ හරක් රැලක් දක්කනවා වගේ. දැන් විභාග අපේක්ෂකයන්ගෙත් මූණු නරක් වෙලා විභාග ශාලා නිලධාරීන්ගෙත් මූණු නරක්වෙලා මේ කියවිල්ලට… නෑ නෑ කෑගැහිල්ලට.

ඔන්න යාන්තම් සාරාංශ ලිවීමේ ප්‍රශ්න පත්තරෙත් බෙදුවා මේ ජරමර අස්සේ.. දැන් විභාග අපේක්ෂකයෝ පණ දමාගෙන ඒකේ තියෙන බරසාර හෑලි සාරාංශ කරගන්ට ට්‍රයි කරනවා…. වාක්‍ය එහෙන් කපනවා මෙහෙන් කපනවා… දීලා තියෙන ජේද මුල ඉදන් අගට කියෝනවා…. ආයේ ඔලුව කහ කහ අග ඉදන් මුලට කියෝනවා…..

මේ අස්සේ අර නිලධාරියා හෝ ගාලා බෙරිහන් දෙනවා…

කෝ කලින් එකතු කරපු පේපර්ස්? අයියෝ මෙහෙමද තිබ්බේ? ඔයාලා මිස් ඉන්න තිබුනේ අපේ කාලේ, මෙහෙම වැඩ බෑ ඒ කාලේ…. දැන් ඔය ඔලිම්පික් තියෙනවා නේද ලන්ඩන් වල? ඔයාලා දන්නවද ඒ කාලේ………..

ඒ පාර මිනිහා උපදෙස් පැත්තක තියල ඔලිම්පික් ගැන කියෝනවා… ඊලගට ඇමරිකාවක් ගැන කියවන්ට ගත්තා.. ඒ අතරින් පතර මහින්ද රාජපක්ෂලා, රනිල්ලා, විමල්ලා ආදී එකී මෙකී නොකී හෑලී ගොඩාක් කියවනවා…. නිකම්ම නෙවී ෆුල් වොලියුම් එකෙන් මුලු ශාලාවටම ඇහෙන්න.

මේ අස්සේ එක්තරා විභාග අපේක්ෂිකාවක් ටක් ටක් ටක් ගාලා මේසෙට තට්ටු කලා. දැන් එහෙම තට්ටු කරන්නේ තව කොල ඉල්ලාගන්ටනේ. ඒත් ඒ තට්ටුව විභාග ශාලා නිලධාරීන්ට ඇහෙන්නේ නෑ අර ප්‍රධානියාගේ ලවුඩ්ස්පීකර් කට නිසා…. ඒ පාර මේ දැරිවි තව ටිකක් හයියෙන් තට්ටු කලා… ම්හු…. ඒත් ඇහෙන්නේ නෑ.. තවත් හයියෙන් තට්ටු කලා…. ඒත් ඇහුනේ නෑ… බැරිම තැන මේ විභාග අපේක්ෂිකාව පුටුවෙන් නැගිටලා අර නිලධාරීන් ඉන්න මේසේ ලගටම ගියා…

ඇයි ඇයි මොකද මේ ළමයා?” අර ප්‍රධානියා බොහොම බැරෑරුම් විදියට ඇහුවා. අර දැරිවි බොහොම නෝන්ඩි හිනාවක් දාලා මුලු ශාලාවටම ඇහෙන්න දුන්නා උත්තරේ

“අනේ නෑ මම මේ ඔයාලා දන්නේ නැතුව ඇති කියලා හිතලයි කියන්න ආවේ… මේ හෝල් එකේ ළමයි විභාගයක් ලියනවා, ඒ නිසා ඒක ඉවර වෙනකල් ටිකක් කට පියන් ඉන්න පුලුවනිනම් තමයි හොද….”

විභාග ශාලා නිලධාරීන්ට කට කොනකින් හිනා යද්දි ප්‍රධානියාගේ කට ඇද වෙලා වැහිලා ගියා….

ඔන්න එහෙනම් හරි පාර හොයාගන්න උත්තරේ…

2012 ජූලි 28

කලින් පෝස්ට් එකේ සමනලී පුංචි පහේ කතාවක් එක්ක ප්‍රශ්නයක් ඇහුවා නෙව…. අර සංචාරකයා කොහොමද හරි පාර හොයාගන්නේ කියලා? සමහරු නම් උත්තරේ දන්නවා කියලා තිබුනා… සමහරු පෝස්ට් එක කියවලා තිබුනේ නැහැ… සමනලීත් එහෙන් මෙහෙන් අතුරුදහන් වෙලා ඉදලා එකසැරේටම ආවහම ඔහොම වෙනව ඉතින්….

 

හරී එහෙනම් මෙන්න උත්තරේ….. පප්පර පාං….!!!

දැන් අපි දන්නේ නෑ නෙව ඒ වෙලාවේ එතැන ඉන්නේ බොරු කියන කෙනාද ඇත්ත කියන කෙනාද කියලා. ඉතින් ඒ හරි පාර තෝරගන්න නම් සංචාරකයා අහන්න ඕනි මෙන්න මෙහෙමයි:

ඔබේ සහෝදරයා මෙතැන සිටියානම්, තානායමට යන පාර ලෙස ඔහු පෙන්වන පාර කුමක්ද?“

හරි දැන් බලමු කොහොමද ඒක එහෙම උනේ කියලා….

ඇත්ත කියන නිවුන් සහෝදරයා එතැන උන්නා නම්, තමුන්ගේ බොරු කියන සහෝදරයාගෙන් තානායමට යන පාර ඇහුවොත් එයා පෙන්වන්නේ හොරු ඉන්න දිශාවට යන පාර නිසා, ඇත්ත කියන සහෝදරයා ඒ හොරු ඉන්න පාර පෙන්නාවී

එතැන උන්නේ බොරු කියන සහෝදරයා නම්, ඔහු දන්නවා තමුන්ගේ සහෝදරයා ඇත්ත කියන නිසා ඔහුගෙන් තානායමට යන පාර ඇහුවොත් පෙන්වන්නේ හරි පාර බව. ඒත් ඉතින් මෙයා කියන්නේ බොරු නිසා මෙයා පෙන්වන්නේ හොරු ඉන්න පාරම තමයි.

ඒ කියන්නේ එතැන ඉන්නේ ඇත්ත කියන කෙනා උනත් බොරු කියන කෙනා උනත් අර විදියට ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ එකම උත්තරේ, වැරදි පාර. දැන් ඉතින් වැඩේ ලේසියි, ඒ පෙන්නන පාර නෙවී අනිත් පාර තමයි තානායම තියෙන පාර!!

ඔන්න එහෙනම් තවත් ලිපියකින් හමුවීමේ අදහසින් සමනලී දැනට සමුගන්නම්….. හැමෝටම ප්‍රීතිමත් සති අන්තයක් වේවා!!!

කිව්වොත් හපනා….. (දැනටමත් දන්නවද දන්නේ නෑ ඉතින්)

2012 ජූලි 16

ඔන්න…. කාලාන්තරේකට පස්සේ සමනලී ආයෙත් ආවා……. දිඩි බිඩි දඩිං ඩෝං..!!! හෝව් හෝව් බනින්ට එපා ගහන්ට එපා… සමනලී වැරදියි තමයි මෙහෙම සද්ද නැතිව කාලාන්තරයක් හිටපු එක අන්තිම වැරදියි… සමනලී පිලිගන්නවා… ඒ නිසා යාලුවෝ හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා…. අනේ මේ සමනලීට සමා වෙන්ට…

Image

අන්තිම පෝස්ට් එක ලීවට පස්සේ සමනලීගේ විශ්ව විද්‍යාලේ අවසන් වසර අවසන් විභාගේ ආවා, ව්‍යාපෘතියක් එක්ක හිර උනා… ඉතින් ඊට පස්සේ වයිවා වලට සූදානම් උනා… ප්‍රථිපල ආවා… මගේ අම්මේ සමනලී ඒවා දැක්කාම……….. නෑ නෑ හැංගුනේ නෑ අනේ..ප්‍රථිපල හොදම හොදයි. දොස්තර නෝනා කෙනෙක් වෙලා අම්මාගෙයි තාත්තාගෙයි හීන හැබෑ කරන්ට බැරි උනත් කොහොම කොහොමහරි මහන්සි වෙලා අනේක ජරමර මැද්දේ සමනලී විද්‍යාවේදී විශේෂ උපාධියක් සමත් උනා පළමු පෙල ගෞරව සාමාර්ථයක් එක්ක…. අම්මයි තාත්තයි සතුටින් හිනාවෙනවා දැකල සමනලීගේ ඇස් වලට සතුටු කදුලු ආවේ උපාධි උත්සවේ දවසේ තමයි ජීවිතේ පලමු වතාවට.

Image

යාන්තම් හිතට නිවනක් ලැබුවා කියලා හිතුනට මොකද යුද්ධෙ පටන් ගත්තේ දැන්ද කොහේද… මගේ අප්පේ තව කොයිතරම් දුරක් ජීවිතේ යන්න තියෙනවද? ගෙදරින් පාසලට, පාසලින් විශ්ව විද්‍යාෙලට, එතැනින් ඔන්න සමාජෙට ඇතුලු උනා. අර පාඩම් කරකර දුක් විදපු කාලේ හොදයි කියලත් හිතෙනවා ඇත්තමයි…. දැන් හිතාගන්න බැහැ මොනවද කරන්න ඕනා කියලා. රස්සාවක් කරනවද? scholarship එකක් කොහොමහරි හොයාගෙන PhD එකත් කරලම ඉන්නවද? ඕන්න ඉතින් ඔය දෙක මැද්දේ දෝලනය වෙවී ඉගෙන ගත්තු department එකේම demonstrator කෙනෙක් විදියට වැඩ කරන ගමන් සමනලී scholarship සහ  PhD ගැන හොයනවා මේ දවස් වල…

හා ඒ ගමන් විදේශ සේවා විභාගෙටයි පරිපාලන සේවා විභාගෙටත් ලියල බැලුව නිකමට වගේ. ඒත් ඒ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බයයි ඒ ප්‍රශ්න පත්‍ර වල හැටියට 😦 ඒ විභාගෙට සුදානම් වෙද්දි අහන්ට ලැබුනු බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් එක්ක තමයි සමනලී ඉදල  ඉදල මේ පැත්තට පියඹලා ආවේ…. හරී ඔන්න බලමු එහෙනම් කී දෙනෙක්ට හරි උත්තරේ දෙන්ට පුලුවනිද කියලා….. (සමනලී මේක ඇහුවේ ලගදි උනාට ඔයාලා දැනටමත් මේක දන්නව ඇති නේද?)

ඔන්න මේකයි කතාව…

එක්තරා පිටිසර ගමක් තිබුනා. මේ ගමේ මැදින් එකම එක පාරක් තිබුනා ගමේ කෙලවරට. ඒ පාර ගමේ කෙලවරදි දෙකට බෙදුනා. ඉන් එක පාරක් තානායමකිනුත් අනෙක් පාර භයානක හොරු ඉන්න ගල් ගුහාවකිනුත් කෙලවර උනා. මේ පාර දෙකට බෙදෙන තැන හරිම පාලුයි. ඒ ඉසව්වටම හිටියේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක් විතරයි. මෙතැනට එන අයට පාර අහගන්න වෙන්නේ මේ සහෝදරයන්ගෙන් තමයි. හැබැයි මේ දෙන්නා වැඩ කලේ shift duty ක්‍රමයටයි. ඒ කීවේ පාර බෙදෙන හංදියේ මේ දෙන්නා හිටියේ මාරුවෙන් මාරුවට. දෙන්නම එකම වෙලාවේ ඉන්නේ නෑ. දෙන්නා පෙනුමෙන් සර්ව සම නිවුන්නු. හැබැයි ක්‍රියාවෙන් නම් එහෙම නෑ. යම් ප්‍රශ්නයක් ඇසු විට ඔවුන්ගෙන් එක් අයෙකු සෑම විටම සත්‍යයත් අනෙකා සෑම විටම අසත්‍යයත් කියනවා. ඒ කීවේ එක්කෙනෙක් බොරුමයි කියන්නේ, අනිකා පැත්ත ගියත් ඇත්තම කියන කෙනෙක්. පාර අහගන්න එන පුද්ගලයෙකුට මේ සහෝදරයන්ගෙන් අහන්න පුලුවන් එකම එක ප්‍රශ්නයක් විතරයි හරි පාර හොයාගන්න.

ඔන්න දවසක් සංචාරකයෙක් ගම මැදින් ආවා මේ හංදියට. දැන් එයාට ඕනා අර කලින් කීව තානායමට යන්නයි. නිවුන් සහෝදරයෙක් ඉන්නව හංදියේ පැත්තකින් වාඩි වෙලා. එයා බොරු කියන කෙනාද ඇත්ත කියන කෙනාද කියලා දන්නෙත් නෑ මේ සංචාරකයා. අහන්න පුලුවන් එකම එක ප්‍රශ්නයයි. වැරදි පාරේ ගිහින් හොරුන්ට අහුඅනොත් මැරුම් කන්ටයි වෙන්නේ.

හොදයි කොහොමද මේ සංචාරකයා එකම එක ප්‍රශ්නයක් අහලා තානායමට යන හරි පාර හොයාගන්නේ??

Image

බලමුකෝ කී දෙනෙක් මේ කතාව මීට කලින් අහලා තියෙනවද? කී දෙනෙක්ට හරි උත්තරේ හොයාගන්ට පුලුවනිද කියලා…. ඔන්න එහෙනම් සමනලී මගබලන් ඉන්නවා උත්තර ලැබෙනකල් යාලුවනේ…..

ජීවිතයේ පුදුම හත මොනවාදැයි ඔබ දන්නවාද?

2011 ජූනි 24

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මේ පුංචි සිරි ලංකාවේ උන්නලු පුංචි සමනලී කියලා සිංහල බ්ලොග් ලියන දැරිවියක්. ඒ දැරිවි හිටි ගමන් සද්දයක්වත් නැතිව ගියාලු. අනේ සිංහල බ්ලොග් කියවන උදවියට මේ පුංචි සමනලීව අමතකත් වෙලා ගියාලු…….

ඒත් බොලේ සමනලී මේන්න ආයේ ඇවිදින්!!!!

හා හා ඒ බොහොම අහිංසක ආරම්භයක් ගත්තේ සමනලී කාලයක් තිස්සේ මේ පැත්ත පලාතේ නාව එක ගැන පලවෙන අදහස් උදහස් වලින් ෂේප් වෙන්ටනේ…. හී හී…. හරි හරි දැන් බලමුකෝ ඉදල ඉදල මොනවද සමනලී මේ අකුරු කරන්ට යන්නේ කියලා….

ලෝකයේ පුදුම හත ගැන දන්නව නෙව හැමෝම? ඔව් ඔව් ඔය 5 පන්තියේ ශිෂ්‍යත්ව විභාගේටනේ ඕක මුලින්ම පාඩම් කරගත්තේ. අද සමනලී කියන්ට යන්නේ ජීවිතයේ පුදුම හත ගැන…. නෑ නෑ කලබල වෙන්ට කාරි නෑ… ඕවා ශිෂ්‍යත්වෙට ඒවි කියලා පොඩිත්තන්ට කටපාඩම් කරවන්ට යන්ට ඕන නෑ හොදේ? මේක පුංචි කතාවක්….

ඔන්න දවසක් පාසල් ගුරුවරියක් තමුන්ගේ පන්තියේ දරුවන්ට කීවා තමුන්ට හිතෙන හැටියට ලෝකයේ පුදුම හත මොනවාදැයි ලියන්ට කියල. දැන් ඉතින් දරුවෝ ටික දනිපනි ගාලා ඒ අය දන්න විදියට ලෝකයේ පුදුම හත ලයිස්තුවක් ලීවලු.

ටික වේලාවකින් ගුරුතුමිය අර දරුවෝ ලීව කොල ටික එකතු කරගත්තලු මොනාද ලියලා තියෙන්නේ කියලා බලන්ට. හැම ලයිස්තුවකම වගේ තිබුනේ මෙන්න මේ වගේ දේවල්ලු:

  • ඊජිප්තුවේ මහා පිරමීඩ
  • ඉන්දියාවේ ටාජ් මහල්
  • ග්‍රෑන්ඩ් කැනියොන්
  • පැනමා ඇළ
  • එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
  • සාන්ත පීතර බැසිලිකාව
  • චීන මහා ප්‍රාකාරය

ඒත් ගුරුතුමී දැක්ක පන්තියේ උන්න එක්තරා දැරිවියක් තාමත් තමුන්ගේ ලයිස්තුව දිහා බලාගෙන කල්පනා කරනවා මිසක් ඒක ගුරුතුමිට දීලා නැහැ. ගුරුතුමී ඒ දැරිවි ලගට ගිහින් ඇහුවා “ඇයි පුතේ ලයිස්තුව හදාගන්න එකේ මුකුත් ප්‍රශ්නයක්ද?“ කියලා.

අර දැරිවිත් මෙන්න මෙහෙම කීවලු:

“අනේ සෑහෙන දේවල් තියෙනව මගේ ලයිස්තුවේ ඒත් මට හිතාගන්ට බැහැ ඒවයින් හොදම ටික තෝරගන්ට“

“ම්… කෝ බලමු ඒවා…. හා අපි හැමෝම උදවු වෙන්නම්කෝ ඔයාට එයින් හොදම ටික තෝරගන්ට“ කියලා ඒ දැරිවිගේ ලයිස්තුව අතට අරන් ගුරුතුමී ඒක පන්තියේ හැමෝටම ඇහෙන්ට කියෙව්වලු. මෙන්න මේවා තමයි ඒ ලයිස්තුවේ ලියලා තිබුනේ:

1. දෙනෙතින් දැකීම

2. දෙසවනින් ඇහුම්කන් දීම

3. දෙඅත්ලෙන් ස්පර්ෂ කිරීම

4. මුවට රස දැනීම

5. හදවතට දැනෙන හැගීම්

6. සිනහසීම

7. ආදරය කිරීම

මුලු පන්තියම මීයට පිම්බා වාගේ නිෂ්ශබ්ද වෙලා කල්පනා කරන්නට උනාලු…….

ඇත්තෙන්ම එදිනෙදා ජීවිතේ නිරතුරුවම සිදුවෙන මේ දේවල් බොහොම සරල පුංචි සිදුවීම් විදියට අපි නොසලකා හැරියත් ඩිංගක් හිතල බලන්ට…. ඒ දේවල් නොතිබුනා නම් ජීවිතේ කොයිතරම් නීරස වේවිද? ලෝකය කොයි වගේ තැනක් වේවිද?

ජීවිතේ විදවන්නේ නැතිව විදින්න…. ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්ට අත්‍යාවශ්‍යම දේවල් මිනිසාට මවන්නට හෝ නිපදවන්නට බැහැ….. ඒවයේ වටිනාකම අසීමිත වෙන්නෙත් ඒ නිසාමයි….

හැමෝටම ජීවිතයේ පුංචි පුංචි දේවල් වලින් සොදුරු බව ලැබෙන සුබ දවසක් වේවා…..!!

ජීවිතයේ පුදුම හත ගැන මේ පුංචි කතාව සමනලීට ලැබුනු ඊ-මේල් ලිපියකින් සකස් කරන ලද්දකි

ඉලන්දාරියෝ ඔබට නිවන් සුව……

2011 මැයි 21

ජීවිතය ඔබට සුන්දර හිතක් සමග ගිලන් වූ ගතක් හිමි කර දුන්නේ ඇයි දැයි නොදනිමි. එහෙත් මතු උපදින කිසි දිනක මෙවැනි අකල් මරණයන් ඔබ වෙත අත් නොවේවා…

ඔබේ ඒ සුන්දර සිත රැගෙන මේ බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් කැල සමග සතුටින් දොඩමළු වන්නට, අපේ වදන් ඔය දෙසවනින් අසන්නට සසරේ කවර දිනක හෝ නැවතත් අප අතරම ඔබ ඉපදේවා…….

කිසිදා මුහුණට මුහුණ නොදුටු මුත් බ්ලොග් අවකාශය තුලින් හදුනාගත් සහෘදයානෙනි ඉතින් අපි ඔබට සමුදෙමු……..

– සමනලී සහ අයිතිකාරයා

කලබල පැංචාගෙයි කලබල පැංචිගෙයි කලබල වෙච්චි කතාව……

2011 අප්‍රේල් 10

එකෝමත් එක කාලෙක උන්න හරිම කලබල පැංචෙක්… එයාගේ අම්මත් කියනවලු “අපේ ලොකු පුතා නම් හරිම කලබලයිනේ” කියලා. ඉතින් මේ කලබල පැංචා දවසක් කලබලෙන් රෝස කැලයක් ලගින් ගමනක් යද්දි දැක්කලු පුංචි සමනලියක් ඒ රෝස කැලේ ඉන්නව…. ඔන්න ඒ පාර මේ කලබල පැංචා කලබල නැතිව  විපරම් කරල බැලුවලු. අනේ මේ ඉන්නේ මම කාලයක් තිස්සේ හොයාපු මම ආසා කරන විදියේ සමනලියක්නේ කියල හෙමින් ලං වෙලා ඒ සමනලීව රෝස කැලෙන් එක්කන් ආවලු. එදා ඉදන් මේ කලබල පැංචා තමයි ඒ පුංචි සමනලීගේ ආදරණීය අයිතිකාරයා…….

ම්….. මේ මොකද්ද බොලේ මේ කලබල කතාව????

මේකනේ උනේ, පහුගිය දවසක පුංචි සිද්ධියක් නිසා පුංචි සමනලීගේ කලබල පැංචා සෑහෙන කලබල උනා නෙව… සමනලී ඒ කලබලේ නැති කරල හිත හදන්න කියල යවාපු sms පණිවිඩෙත් ඕං වැරදියට තේරුම් අරන් තව තවත් කලබල වෙලා මේ කලබල පැංචා….. දැන් හරිම ප්‍රශ්නේ, කොයි තරම් තේරුම් කරන්න ගියත් හරියන්නේම නෑ…. කලබල පැංචා කලබල වෙලා…. අහිංසක හිතත් රිද්දන්…. අලි මදිවට හරක් කියන්න වාගේ ඔන්න ඒ පාර පුංචි සමනලීත් කලබල උනා…. ඇයි දෙයියනේ ලග පාතකත් නෙවී අයිතිකාරයා රස්සාව කරන තැන ඉන්නේ…. දුකින් හිතත් පුරවන් හොදටෝම…. කීවට තේරුම් කලාට අහන්නෙත් නෑ!!!! ඒ කියන ඒවත් කලබලේට වැරදියට තේරුම් අරන් තව තවත් කලබල වෙනවා.. සමනලීටත් දුක හිතුනා.. බයත් හිතුනා… ඕං ඒ පාර එයත් කලබල උනා..!!

දැන් හරි වැඩේ තමයි දෙන්නම කලබල වෙලා…. දෙන්නම දුකින්…..  මගේ අප්පේ ඒ තරම් අමාරුවෙන් ගෙවාපු වෙනත් දවසක් සමනලීගේ ජීවිතේ තියෙන්න නැතිව ඇති. සමනලී දන්නව අයිතිකාරයාටත් එහෙම්මම තමයි කියල. යාන්තම් හවස් වෙද්දි කලබල පැංචාගේ කලබලේ අඩු වෙලා. ආයෙමත් උදේ ඉදන් තේරුම් කරන්න හදාපු දේ තේරුම් කරන්න උත්සහ කලා සමනලී… sms වලින් ප්‍රශ්න විසදීම නුවණට හුරු නොවන බවත්, කලබල පැංචා සිංහල වාක්‍ය තේරුම් ගැනීමේදි බොහෝසෙයින් කලබල වී වරද්දන බවත් සමනලී විසින් කියන්ට යෙදුනා. ඒත් අනේ තාමත් මේ කලබල පැංචා හරියටම තේරුම් ගන්නේ නෑනේ 😦 ඒ වෙද්දි සමනලීත් කලබල වෙලා උන්නු නිසා ප්‍රශ්නේ සෑහෙන බරපතල වෙච්චි. සමනලී තීරණය කලා එහෙනම් ඉතින් ආයෙත් රෝස කැලේටම යනවා කියලා….!! කීවට මොකෝ ඒක ඇත්තටම කලබල වෙලා ගත්තු වැරදි තීරණයක්.

ඔන්න ඉතින් රෑ බෝ වෙච්චි. සමනලී මෙහෙ තනියම රෝස කැලේ බොහොම දුකින්…. කලබල පැංචා එහෙ දුකින්. ඒ උනත් හැමදාම වගේ සමනලීව තේරුම් අරන් සේරම ප්‍රශ්න අන්තිමේ විසදන්නේ අයිතිකාරයාම තමයි. අනේ ඉතින් මේ කලබල පැංචා බොහෝ සෙයින් රෑ වෙලා උනත් රෝස කැලේ පීරල ආයේ සමනලීව හොයාගෙන ආදරෙන් තුරුලු කරන් අරන් ආවා.

දවසක් ඇතුලත කලබල පැංචා කලබල වෙලා සමනලීත් කලබල වෙලා හිත රිද්දන් ඇස් වල කදුලුත් පුරවන් බොහොම අමාරු දවසක් ගෙවුනත් ආයේ රෑ වෙද්දි ඒ කලබල අඩු වෙලා වැරදි තේරුම් අරන් දෙන්නම උන්නටත් වඩා ආදරෙන්….. 🙂 ඒ විතරක්ද? සමනලීගේ කලබල පැංචා සමනලීට බොහොම ආදරෙන් මෙන්න මෙහෙමත් කීව නෙව… “අනේ අනේ මගේ පුංචි කලබල පැංචි

ඊට පහුවෙනිදා මේ කලබල පැංචයි කලබල පැංවියි මුණගැහුනා…. කලබල නැතිව බොහොම ආදරෙන් සෙනෙහසින් ලගින් ඉදන් නිස්කලංකව කතා කලා, අවුරුදු පොලක ඇවිද්දා, දවල්ට කෑම එහෙම කාලා වෙනද වාගේම මේ කලබල පැංචිව ගෙවල් කිට්ටුවටම පරිස්සමින් එක්කන් ඇවිත් කලබල පැංචා ආයෙම එයාගේ ගෙදර යන්න පිටත් උනා….

ඔන්න ඕකයි මේ කලබල පැංචාගෙයි කලබල පැංචිගෙයි කලබල වෙච්චි කතාව……

අනේ ඒත් ආයේනම් එහෙම කලබල වෙලා සේරම අවුල් වෙච්චි ඒ වාගේ අසුබ දවසක් නම් සමනලීටත් අයිතිකාරයාටත් එන්න එපා….. මින් පස්සේ මේ කලබල පැංචා කලබල උනත් එයාගේ කලබල පැංචි නම් කලබල වෙන්න හොද නෑ……

ඒ එක්කම රෝහණ බෝගොඩ මහත්මයා ගායනා කරන ගීතයක මෙන්න මේ කොටසේ තේරුම එදා ඒ සිදුවීමෙන් පස්සේ තදින්ම හිතට දැනුනා. ඒකෙන් කියවෙන දේ නම් ඇත්තම ඇත්ත තමයි…….

පෑව සෙනේ අමනාපේ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා

සිත සැනසුම් සාදනා

ඔබේ හසරැල් මට වාසනා….

අපූරු නාලාගිරි දමනය……

2011 මාර්තු 3

මේකත් මේ අර සමනලීගේ සීදේවි සිංහල ගුරුතුමීට වෙච්ච ඇබැද්දියක්…… මේ සිද්ධිය සමනලී 9 හෝ 10 පන්තියේදී තමයි සිද්ධ උනේ.

සුපුරුදු පරිදි එදාත් උදෙන්ම සිංහල පාඩම… ඒ දවස්වල සිංහල අච්චු පොතේ තිබුනා නාලාගිරි දමනය කියලා පාඩමක්. කට්ටිය දන්නවනේ ඉතින් ඒ පාඩම තියෙන්නේ බොහොම බරසාර වචන වලින් නෙව. ඕක කියවන්ට ගියාම වචන 2න් 3න් දිව පටලැවෙනවා. අපේ සීදේවි ගුරුතුමිත් ඉතින් ජේදයෙන් ජේදයට එක එක්කෙනා නැගිට්ටවනවා පාඩම කියවන්ට.

පාඩම කියවන්ට කිවට මොකද සීදේවි ඉන්නේ ඒ ගැන කල්පනාවෙන් නෙවීද කොහෙද… එක්කෝ නිදි එහෙම නැත්නම් ඒ ජේදයෙන් කියවෙන දේ හිතේ මවාගෙන ඒක ඇතුලේ ඉන්නේ….. කොහොමින් හරි ඔය ජරමර අස්සේ අර ලොකු බෝතල් අඩි ඇස් කණ්නාඩි දෙකට උඩින් අපි දිහා බලලා කතා කරන ළමයි නැගිට්ටවලා එහෙට මෙහෙට චෙස් අදින්ටත් අමතක කරන්නේ නෑ අපේ සීදේවි.

කොහොමින් හරි පාඩම ටික ටික ඉස්සරහ ඇවිල්ලා ඔන්න දැන් හොදම හරිය යන්නේ… ඒ කීවේ රා බීලා මත් උන නාලාගිරි ඇතා බුදුරජානන් වහන්සේ දිහාවට දුවගෙන එනවා, බලන්ටත් බයයි, මිනිස්සු පාරෙන් අයින් වෙලා වීදියේ නිවාස වල උඩුමහලින් බලා කෑ ගසනව අනේ අපොයි කියලා……. ඒ අතරේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් බේරන්ට හිතලා ඇතා එන මග බුදුරදුන් ඉදිරියෙන් ඉන්නවා….. බුදුරදුන් ආනන්ද තෙරුන් වහන්සේ වළක්වන්ට ඉවත් කරන්ට පොළොව කුඹල්සකක් සේ කරකවා අනිත් පැත්තට හරවනවා…… මගේ අප්පේ ත්‍රාසජනක දර්ශනයක් හිතේ මැවෙනවා…….

දැන් ඔන්න පාඩමේ තියෙනවා නාලාගිරි ඇතා භයානක විදියට දුවන් එන හැටිත් බුදුරජානන් වහන්සේ සන්සුන් ගමනින් වඩින හැටිත්…. සමනලීගේ පන්තියේ ළමයෙක් පාඩම කියවන්ට ගත්තා. කොහොමත් හයියෙන් පාඩම කියවද්දි පුරුද්දක් වශයෙන් වචන පැටලෙන එක ඒ යාලුවට ඉතාම සාමාන්‍ය දෙයක්…. ඉතින් මේ හරබර අරුත්බර විසාල වචන තියෙන පාඩම ගැන කවර කතාද??????

ඔන්න අර චිත්ත රූප මැවෙන, සියොලග කිලිපොලා යන, ලොමුදැහැගැන්වෙන, භයංකාර අවස්තාව විස්තර කෙරෙන කොටස ඒ යාලුවත් පුලුවන් උපරිමෙන් හැඩවැඩ දාලා මෙන්න මෙහෙම කියාපි…..

“ඈතින් රත් වූ දෙනෙතින් යුතුව ධූලි විසිරුවාගෙන දුටුවන් බියට පමුණවමින් පොළව දෙදරවාගෙන දිව එන බුදුරජාණෝය….. මෑතින් ශාන්ත ලීලාවෙන් දුටු දුටුවන් සිත නිවාලමින් උදාර ගමනින් වඩින්නාවූ නාලාගිරි ඇතුය“ !!!!!!!!!

ඔන්න ඒ අවස්ථාවේ ඒ කොටසේ සුවිශේෂි බවින් චිත්ත ප්‍රීතියට පත් අපේ සීදේවි ගුරුතුමිත් නිකම් හිටියේ නෑ…..

“අන්න දැක්කද ළමයි…. බලන්න කොයිතරම් සියුම්ව…. කොයිතරම් අපූරුවට විස්තර කරල තියෙනවද රචකයා ඒ තීරණාත්මක අවස්ථාව…. බලන්න වචන භාවිතයේ අපූරුව…. භාෂාව භාවිතය…… ඔව් ඊලග ටිකත් කියවන්න…..“


සමනලී ඇතුලු පිරිසට එවෙලේ වැඩිය හිනා ගියේ නම් නෑ….. මොකද හිනාව හිර කරන් ඉන්ට උනා නෙව….. මේකයි වෙලා තිබුනේ එකම ජේදයේ එක ලග පේලි දෙකක වචන කියවන් යද්දි ඩිංගක් එහේ මෙහේ වෙලා අපේ යාලුවට….  අපේ මූණු වල පිරිලා පිපිරෙන්ට ලංවුනු හිනාව යාන්තම් පිට කලේ සීනුව වැදිලා සීදේවි ගුරුතුමී පන්තියෙන් ගියාමයි….. පාඩම කියෙව්ව යාලුවට චෙව්ව සන්තෑසිය ගැන කියන්ට ඕන නෑ නෙව ඉතින්…. හිකිස්…..

(ප.ලි:   අනේ හරියටම පාඩමේ වචන වාක්‍ය තිබුනු පිලිවෙල මතක නෑ සමනලීට, ඒත් යාලුවගේ කටින් කියවුනු දේ අවසාන අර්ථය තමයි ඔය දැම්මේ…..දැන් ඒ පාඩම් පොතත් ලග නැ නෙව හරියටම වාක්‍ය පිලිවෙල බලාගන්ට….. ඒත් ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නෑ ජීවිතේට…..)

ඊලගට ඔය මේසේ යට ඉන්න ළමයා……

2011 මාර්තු 2

ඔන්න මේ විශ්ව විද්‍යාලේ අවසන් වසර ව්‍යාපෟතියේ දහසකුත් එකක් වන මහා වැඩ කන්දරාවේ හිර වී බොහෝ සෙයින් පීඩිතව ඉන්න අතරේ හදිසියෙම සමනලීට මතක් උනා පාසල් යන කාලේ වෙච්චි දෙයක්…..  මේක මේ හරිම චුට්ටං කතාවක් හොදේ?

කට්ටියට මතකද මන්දා අර සමනලීගේ සිංහල ගුරුතුමී ද්විත්ව ක්‍රමයට චෙස් ඇද්ද කතාව? අනේ මේ ආදි කාලේ කියපුවා කාටද මතක නේද? හා එහෙනම් හිටින්නකෝ…. මෙතැනින් ඒක කියවන්ට පුලුවනි නෙව?

හරි…. දැන් මේ කියන්න යන්නේ ඒ ගුරුතුමී එක්ක ගෙවුනු පාසල් ජීවිතේ තවත් සුන්දර මතකයක් තමයි……

ඔන්න ඒ කාලේ (ඒ කාලේ කීවේ 2001 අවුරුද්දේ විතර) තිබුනු අර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ හැටියට හැම විශයටම මාසික පැවරුම් කරන්ට ඕනා…. ඒවට ලකුණු දාන්ට ඕනා…. ඒ ඒ විශයට අදාලව සිසුන්ගේ නම් සහිත පුවරුවක් පන්ති බිත්තියේ එල්ලන්ට ඕනා….. හැම පැවරුමකටම අදාල ලකණු අනුව ඔය පුවරුවේ නමට ඉදිරියෙන් රතු/කොල/කහ/කලු පාට තිතක් සළකුණු කරන්ටත් ඕනා….. අප්පච්චියේ හරිම ජරමරයක් තමයි ඒකාලේ ඔය කේන්ද්‍රය!!! :O

ඉතින් ඔය හදිසියෙන් කරන පැවරුම් වලට ලකුණු අඩු උනෝතින් වස ලැජ්ජාවයි, ඇයි අර පුවරුවේ තියෙනවානේ නමට ඉස්සරහින් ළමයාගේ තරම. ගොඩක් දෙනෙක්ට ඕනා කලේ යන්තම් කොල පාට තිතක් ගන්ට තරමට ලකුණු ගන්න විතරයි… ඒ අස්සේ සමහරු උන්නා රතු තිත වැඩිම සංඛ්‍යාවක් ගැනීමේ මහා තරගයක…. අනේ ඉතින් සමනලී නම් ඕවට නෑ…. ඔය මොකක් හරි සන්තෑසියක් කරලා උත්තර අමුණාගන්නවා…..  (ඒත් කලු පාට කහ පාට තිත් නම් ලැබිලත් නෑ…. අනේ මන්දා…?)

ඔන්න දැන් චුට්ටං කතාවක් කීවට තොරණේ විස්තරේ වගේ කියාගෙන යනවා නේද මේ සමනලී? හෝව් හෝව් කෝච්චිය දැන් එමු හරි පීල්ලට…..

දැන් ඔන්න අර සමනලීගේ සීදේවි සිංහල ගුරුතුමී (එයාමනේ පංතිභාර ගුරුතුමී) හරිම උනන්දුයි මේ පැවරුම් සහ තිත් තැබීමේ මහා ජරමරයට. සිංහල විෂයේ හැටියට පැවරුම් කියලා කලේ කියවීම, රචනා, කතික වගේ ඒවා තමයි. කියවීම නම් ලොකු ගැටලුවක් නෙවී. ඔය සිංහල පාඩම් පොතේ පිටුවක් කියවන්ටයි තියෙන්නේ…. ඒක නිකම් කිරි කජු වැඩක් නෙව.

ඒත් කථනය තමයි හැමෝටම අවුල. ඔන්න අපේ සීදේවි කියනවා මෙන්න මෙහෙම:

“ළමයි, ඔන්න ලබන සතියේ කථනය පැවරුම් ගන්න තියෙනවා…. තමුන් කැමති මාතෘකාවකින් විනාඩි 5ක විතර කතාවක් සූදානම් කරන් එන්න“

ඔය වාක්‍ය නම් කියන්නේ හරිම ආදරෙන්. ඊලග වාක්‍ය නම් එහෙම නෑ…. ඒක භයංකාරයි

“ඔන්න මම නොකීවයි කියන්නෙපා… මම හිතුනු හිතුනු කෙනාව නැගිට්ටවන්නේ…. සුදානම් නැතිනම් නිදහසට කාරණා එපා….කලු තිත තමයි…. මගේ ලග වචන දෙකක් නෑ…..“

අනේ ඉතින් කොයිතරම් භයංකරව කීවත් සමනලී ඇතුලු සමනලීගේ යාලුවෝ කාණ්ඩෙට ඕක මතක් වෙන්නේම ඒ පැවරුම ගන්නව කීව දවසේ උදේටනේ…. ඒකත් පන්තිය ඇතුලට ගියාම!!!! බලන්ටකෝ ඉතින් ඒකෙත් හැටි….. මතක් උනාම නම් හීන් දාඩිය මහ දාඩිය දෙකම ඉහින් කනින් පෙරන්ට ගන්නවා…. හැබැයි ඒකත් ටික වෙලාවයි…. මොකද සීනුව වැදිලා එහෙම සීදේවි පන්තියට එන්ටත් කලින් බය වෙන්න නාස්ති කරන කාලේ අපරාදේ නෙව… ඕපාදුප කියවන්ට කොයිතරම් වැදගත් කාලයක්ද? ඕක බය වෙන්ට නාස්ති කරන්නේ මොකටද? 😀 😀

ඔන්න දැන් ආගම එහෙම සිහි කරලා පාසල පටන් ගන්න සීනුව වැදුනා. ඔන්න දැන් භය වෙන්න ඕනා…. සීදේවී ලගම එනවා ඇති ඔසරියත් ජැන්ඩියට ඇදන්…. දැන් ඉතින් මොකක්හරි උප්පරවැට්ටියක් දාන්ට එපැයි…..

පළමු පියවර තමයි කථනය දෙන්ට සුදානමින් ආපු හොද දරුවෝ ටික පන්තියේ ඉස්සරහින්ම වාඩි කරවන එක. දෙවන පියවර තමයි සූදානම් නොවී ආවත් මොකක් හරි අමුණාගෙන කථනය දෙන්ට පුලුවන් සූරියෝ ටික වෙන් කරගන්න එක…. තෙවන පියවර තමයි එදාට කථනය දෙන්ට කොහෙත්ම විදියක් නැති සූරියන්ගෙත් සූරියෝ ටික දෙනා පන්තිය පිටිපස්සේ ඩෙස්ක් යටට රිංගාගන්න එක….. ඒ පියවරින් පළමු අදියර අවසානයි.

ඔන්න අපේ සීදේවි ඇවිත් පන්තියට..

“ආයුබෝවන්“

“ආයුබෝවන් මිස්“

“හා…. අද කථනය ගන්න දවස නේද? කෝ බලන්න……“

අපේ සීදේවි ළමයි නැගිට්ටවන්නේ මුණූ බලලා නෙවී, නාම ලේඛනේ බලල නෙව. මොකද සීදේවිට අපේ නම් මතක හිටින්නේ නෑ…. වාසනාව….

“නයනි…  පටන් ගන්න බලන්න“  ඔන්න දැන් නයනි කථනය දුන්නා…..

“ම් නරකම නෑ….. ලකුණු 7යි. ඊලගට කුමාරි කියන්න බලන්න…“

“බොහොම හොදයි, ලකුණු 9යි. දැන් අරුණි…….“

“අපොයි! මොනාද මේ කීවේ? හරිම දුර්වලයි… අනේ මන්දා ඔහොම නම් බෑ අරුණි…. ලකුණු 4යි!!….. ම්…. දැන්…. තාරුකා“

“කෝ ඇයි සද්ද නැත්තේ? තාරුකා…. කෝ තාරුකා අද නැද්ද? හා එහෙනම් ඊලගට රුවනි කියන්න බලන්න….

තාරුකා නෑ නේන්නම්… තාරුකා මේසේ යටනේ!!!! 😀 මේ තමයි දෙවන අදියර ක්‍රියාත්මක වන වේලාව…. ඒක ඉතින් ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දීලා තියෙන අදියරක්…. පළමුව මේසේ යටට වෙලා කෑම පෙට්ටි ටික දිග හැරීම… දෙවන පියවර සමනලී කියන්ට ඕනත් නෑනේ ඉතින්….. ටික වේලාවකින් හිස් කෑම පෙට්ටි ටික විතරයි ඉතුරු…… කෑමත් ඉවරයි මේසේ යටට වෙලා ඉන්ටත් කම්මැලියි… එතකොට ඉතින් ඒ ලගින්ම වාඩි වෙලා ඉන්න අයගේ සපත්තු ලේස් පටි, සුදු ගවුමේ බෙල්ට් පටි එහෙම මේස කකුල් වල එතෙනවා….. ගොතාපු කොණ්ඩ වල රිබන් පටි අනික් කොණ්ඩ වල ගැටගැහෙනවා, නැත්නම් ලෙහෙනවා…..

ඔය විදියට සීදේවි කියාපු නම් වලින් කිහිපදෙනෙක්ම නෑ…… අචිනි නෑ…. සමනලී නෑ…… හිරුනි නෑ…… පවිත්‍රා නෑ….

පීරියඩ් එක අවසාන වෙන්නත් ලගයි දැන්.

“ඉතිරි අයගේ සහ ආපු නැති අයගේ කථනය හෙට ගන්නම්…. කෝ නිශ්ශබ්ද වෙන්න නාම ලේඛනේ ලකුණු කරන්න……“

ඔන්න අවසාන අදියර…. මේසේ යටින් ටක් ගාලා උඩට ඇවිත් වාඩි වෙන එක….. නැත්නම් නමට ඉස්සරහින් බිංදුවක් වැටෙනවනේ නාම ලේඛනේ ඒකයි. ඒක තනියෙම කරන්ට බෑ… වාඩි වෙලා ඉන්න අයගේ උදවු ඕනා…. වැඩි වෙලා ගන්ටත් වැඩිය දගලන්ට සද්ද බද්ද දාන්ටත් බෑනේ…… සීදේවි දැක්කොත්???

අශානි…..    ඉන්නවා

පූර්ණිමා……  ඉන්නවා

වරුණි…… ඉන්නවා

සමනලී…… ඉන්නවා

“ඈ….. සමනලී හිටියද?“    “ඔව් මිස් හිටියා….“

“දැන් මම කථනය ගනිද්දිත්?“    “ඔව් ඔව් මිස් හිටියා…..“

“මට මතක හිටියේ නෑ වගේනේ, මම නම කීවද?“   “ඒකනේ මම ලෑස්ති වෙලා ඇවිල්ලත් මිස් මගේ නම කීවේ නෑනේ…කීවේ නෑ මිස්“      “ ම්….. අනේ මන්දා මට මතක නිකම් කීව වගෙයි…. හා කමක් නෑ හෙට කියමුකෝ දරුවෝ….“

යාන්තම් බේරුනා…… මේසේ යට උන්න අනිත් යාලුවොත් මේ විදියටම උත්තර බැදලා ෂේප් උනා….. ඔය වගේ තමයි ඉතින් හැමදාම…. කථනය දෙන්ට සුදානම් නැති අය මේසේ යට පිහිට පතාගෙන ඉන්නවා. අපේ සීදේවි මිස් හොල්මන් වෙලා වගේ අන්තිමේ…… අපරාදේ කියන්ට බෑ අපේ සීදේවිට අඩු මතකයක් තිබ්බ නිසා ඒ වැඩේ පහසු උනා.

ඔය විදියට පුරා වසරක් අපි සතුටින් සහයෝගයෙන් මේසේ යටට ගිහින් බේරුනා…..

දෙවන වසරේ, ඒ කියන්නේ සමනලී සාමාන්‍ය පෙල ලියාපු වසරේදිත් සුපුරුදු පරිදි දවසක අපේ සීදේවි කථනය පැවරුම ගන්නවා…. එදා නම් සමනලී මේසේ යට නෙවී…. ඒත් සමනලීගේ යාලුවෝ තුන් දෙනෙක් මේස යට…. වෙනද වගේම පීරියඩ් එක ඉවරවෙන්ට ලගයි. වැඩිම උනොතින් තව දෙන්නෙකුගෙන් වගේ කථන පැවරුම ගනීවි. මේසේ යට උන්න ඈයොත් උඩට ඇදෙන්න සූදානමින් ඉන්නේ…..

සීදේවිත් නාම ලේඛනේ දිහා අර බෝතල් අඩි දෙකක් වාගේ තියෙන විසාල ඇස් කණ්නාඩිය අස්සෙන් බලාගෙන මෙන්න මෙහෙම කියපි….

“ම්….. කවුද ඊලගට…..??? හොදයි ඊලගට කථනය දෙන්න ඔය දකුණු කෙලවරේ මේසේ යට ඉන්න ළමයා……..!!!!!!!!“

අනේ විපතක මහත!!! ඒ ළමයත් නිකම් හුඹහෙන් ඇදෙන නාගයෙක් වගේ මේසේ යට ඉදන් උඩට ඇදිලා ආවා…. කථනය…. මොන කථනයද? වෙනදට හොල්මන් වෙන්නේ සීදේවිනේ ඒත් අද…..

“කථනය ඉතාම දුර්වලයි!! මේසේ යට ඉදන්වත් ලෑස්ති උනේ නැද්ද? හ්ම්…. හෙට ලෑස්ති වෙලා එන්න ඕනා“

හෙහ් කථනය දුර්වලයි නේනනම්… ඒ ළමයා කීවේ “මිස් මම ම්….. මේ මම මේ…. මිස් මේකයි උනේ….. අනේ මිස් මේ….. මම මේ……..“ ඔය ටික තමයි කථනය…. 😀

දැන් ඉතින් සීනුව වදින්ටත් ලගයි. පන්තියේ එහා කොණේ අනිත් දෙන්නත් මේසේ යටට වෙලා ෂේප් එකේ බලන් ඉන්නවා හොද වෙලාවට එයාලව දැක්කේ නෑ…..

අපේ සීදේවි නාම ලේඛනේ අතට ගත්තා. බෝතල් අඩි කණ්නාඩි දෙකට උඩින් අපි දිහා බැලුවා….

“හා හරි හරි නිශ්ශබ්ද වෙන්න නාම ලේඛනේ ලකුනු කරන්න… කෝ ඔය මේස යට ඉන්න අනික් දෙන්නත් මට නම් දෙක කීවා නම්? ඉස්කෝලේ ඇවිදිනුත් බිංදුව වැටෙන්න ඕනැයැ නේද? ඒ දෙන්නගේ කථනය හෙට ගන්නම්කෝ….. හැබැයි ඔන්න හෙට ලෑස්ති වෙලා ඇවිත් පුටුවේ ඉන්න ඕනා…“

අනේ ඉතින් එදායින් පස්සේ මේසේ යට පිහිට නැතිව ගියා……

ටෙලිෆෝනයේ රස කතා 2

2011 පෙබරවාරි 24

මතක ඇති නෙව සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවාම අධි ආරක්ෂිත ප්‍රදේශයකදී වගේ සමනලීගේ තාත්තා ප්‍රශ්න කරන හැටි ගැන???? සමනලී කලින් පෝස්ට් එකේදි විස්තර කලේ තාත්තාගේ ඒ ප්‍රශ්න කිරීමේ කලාවේ වෙනසක් ඇති කරපු සමනලීගේ යාලුවෙක් ගැනයි…. බැලුවේ නැති අය මෙතැනින් ඒක බලන්නකෝ…..

අද සමනලී කියන්නේ ඒ යාලුවට සමනලී කෝල් එකක් දුන්නාම වෙච්චි දේ………….

ඔන්න සමනලීත් දවසක් හවස් වෙලා ඒ යාලුවාට කෝල් එකක් ගත්තා පොතක් ගැන අහන්න, ඒක පහුවෙනිදට ගේන්න කියන්න….. එහා පැත්තෙන් රිසිවරය ගත්තේ යාලුවගේ ලොකු අයියා (ඒ යාලුවට අයියල දෙන්නෙක් ඉන්නව)

ලොකු අයියා: හෙලෝ

සමනලී: හෙලෝ…. අශානි ඉන්නවද?

ලොකු අයියා: මේ….. ඇයි දන්නේ නෑ???

සමනලී: එයාට පොඩි පණිවිඩයක් කියන්න

ලොකු අයියා: ආ..හා……. මේ…… මේ…… නංගි ගෙදර ඉන්නවද දන්නේ නෑ ඉන්න මම බලන්නම්……

පොඩ්ඩා…. ඒයි පොඩ්ඩෝ….. කෝ නංගි?????

පොඩි අයියාගේ කටහඩ ඇසේ: දන්නේ නෑ….

ලො.අයියා:  ඇයි ගෙදර නැද්ද???

පො.අයියා:  ඉන්නවද කොහෙද…..

ලොකු අයියා බෙරිහන් දෙයි: නංගි……… නංගී………… මේ වාතේ කොහේ ගියාද?????

ලොකු අයියා: මේ හෙලෝ හෙලෝ…. අනේ නංගි ගෙදර නැද්ද කොහෙද

සමනලී: ආ ඇත්තද? කොහේද දන්නේ නෑ ගියේ?

ලොකු අයියා: දන්නේ නෑ

සමනලී :  අද ඒවිද එයා??

ලොකු අයියා: දන්නේ නෑ…. ඒවිද මන්දා

සමනලී: අනේ එහෙනම් ආන්ටි ඉන්නවද?

ලොකු අයියා: මේ …. ආ මේ අපේ අම්මද? පොඩ්ඩක් ඉන්න බලන්න…… මම හිතන්නේ අම්මත් ගෙදර නෑ නේ නංගි

සමනලී: ආන්ටි එක්ක වෙන්නැති අශානි ගියේ?

ලොකු අයියා: ඒකත් දන්නේ නෑ…. වෙන්නැති මයෙ හිතේ

සමනලී: ඔය අශානිගේ අයියා නේද?

ලොකු අයියා: ඔව් ඔව්

සමනලී : ඔයා ගෙදර අය එක්ක නෙවීද ඉන්නේ?

ලොකු අයියා: මම ගෙදර අය එක්ක තමයි ඉන්නේ

සමනලී: අම්මයි නංගියි ගිය දිහාවක් එන දවසක් දන්නේ නැත්තේ?

ලොකු අයියා: මේ …… මේ…… මම මේ………

පසුපසින් කටහඩක් ඇසේ : කවුද පුතා ෆෝන් එකේ?

මේ නංගිගේ යාලුවෙක් අම්මා….. ඈහ්….. අම්මා කොහේද ගියේ? කොයි වෙලේද ආවේ?

අම්මා:  මම කොහේ යන්නද ළමයෝ? මිදුලේනේ හිටියේ….කෝ ඉතින් නංගිට එන්න කියන්නෙපැයි… මොනාද කරන්නේ??

ඈහ්……. අපේ නංගි ගෙදරද?

අම්මා:  ඇයි ළමයෝ නංගි කාමරේ නිදිනේ? මොන ලෝකේ ඉන්නවද මන්දා……..

ඈ……………..!!!! නංගී……………… නංගී………  ආහ් ……අනේ මේ නංගිගේ යාලු නංගී සොරි ඈ…… පොඩ්ඩක් ඉන්න…….



ඔන්න එහොම යාන්තම් ගෙදර නෑ කීව නංගි ෆෝන් එකට ආවා……. කොහොමද අයියල දෙන්න නංගිව ගෙදරදි ආරක්ෂා කරන හැටි???? නංගි ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ ඔං………!!!!!!!

 

%d bloggers like this: